බර්ගර් කිං අවන්හලක සේවකයන් සියලු දෙනා එකම අවස්ථාවේ ඉවත් වෙලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙබ්රස්කාහි පිහිටි බර්ගර් කිං අවන්හලක කළමනාකාරිනියද ඇතුළුව සේවකයන් සියලු දෙනා එකම අවස්ථාවකදී සේවයෙන් ඉවත් වීමේ පුවතක් ඊයේ වාර්තා වී තිබේ.

සිය අවන්හල තුළ සේවය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම සහ කාර්ය මණ්ඩලය අඩු වීම යන කාරණා නිසා මෙලෙස එම සියලු දෙනා එකම අවස්ථාවකදී සේවයෙන්ඉවත් වී ගොස් තිබේ.

මෙහිදී ඔවුන් සිය අවන්හල ඉදිරිපිට තිබෙන දැවැන්ත ‘බර්ගර් කිං’ පුවරුවේ යටින්, “We all quit. Sorry for the inconvenience” ලෙස සියලු දෙනා ඉල්ලා අස් වුණු බවත්, සිදු වුණු අපහසුව පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් සටහන් කර තිබේ.

එම අවස්ථාවේදී සේවකයන් නව දෙනෙකු එහි සේවය කරමින් සිට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම අවන්හලේ සේවකයන් එහි මුළුතැන්ගෙහි පවතින අඩු පහසුකම් පිළිබඳව තමන් අසතුටට පත්වන බව පවසා ඇත. පසුගිය දින කිහිපයේදීම එහි වායුසමීකරණ පද්ධතිය බිඳ වැටී ඇති බවත්, ඒ පිළිබඳව කළමනාකරණය දැනුවත් කර ඇති මුත් කිසිදු පියවරක් ගෙන නොති බූ බවත් සඳහන් වෙයි.

මෙම කාල සීමාව තුළදී අවන්හලේ පැවැති අධික උණුසුම නිසා සේවකයන් කිහිප දෙනෙකුම රෝගාතුර වී ඇති බවත්, ඔවුන් රෝහල්ගත කෙරී ඇති බවත් පැවසෙයි. එහිදී ඔවුන් විජලනයට පත්ව සිටි බවත් සඳහන් වෙයි.

මීට අමතරව ආසන්න කාලසීමාවේදී අවන්හලේ සේවකයන්ට ඉතාමත් දරුණු ලෙස අඩු වී ඇති අතර, එහි කළමනාකාරිය පවසන ආකාරයට ඇයට සතියකට පැය 50 සිට 60දක්වා කාලයක් වැඩකිරීමට සිදුව ඇත.

මෙම පිරිසගේ ක්‍රියාව ඉතාමත් වේගයෙන් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වූ අතර, බොහෝ දොනගේ අවදානයට එය ලක් විය. මේ අතර සිදුවීමෙන් පැය කිහිපයකට පසුව නිවේදනයක් නිකුත් කළ බර්ගර් කිං මව් සමාගම, සිය බලයලත් වෙළෙඳනාමය යොදා ගෙන සිදු කරන ව්‍යාපාර පිළිබඳව අවධානය යොමු කරන බවත්, ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවීමට වගබලා ගන්නා බවත් පවසා තිබේ.

Visits: 270