“දකුණු ආසියාවේ තාක්ෂණයෙන් ඉහළම ගුවන්තොටුපොලක් බවට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පත් කරනවා”. – අමාත්‍ය නාමල් රාජපක්ෂ

මීළග වසර 03 ඇතුලත ඉහළම තාක්ෂණයෙන් හෙබි දකුණු ආසියාවේ Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත්  එකතු කරන්න බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ගුවන්තොටුපොල හරහා භාණ්ඩ හුවමාරුවේදී එම ක්‍රමවේදයන් තාක්ෂණය සමග මුසු කර ඉදිරියට ගෙන යාමේ ක්‍රියාපිළිවෙත කඩිනමින් ආරම්භ කරන බවත් ඒ මහතා පවසා තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවට ඊයේ (13) සම්බන්ධවෙමින් ඔහු මේ අදහස් පළ කර තිබේ.

මෙහිදී අදහස් දක්වාඇති අමාත්‍යවරයා, “අද අපි සාකච්ඡා කළා නව තාක්ෂණයත් එක්ක ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව අපේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න.

ඒ අනුව මේ ගුවන්තොටුපොල හරහා ගමන් කරන මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීම, කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩි දුරටත් අපි සාකච්ඡා කළා.

ලංකාව සංචාරක ව්‍යාපාරය හරහා විදේශ විනිමය විශාල වශයෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙන රටක් විදියටත්, දකුණු ආසියාවේ භාණ්ඩ හා සේවා හුවමාරුවේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ බලාපොරොත්තුවත් සමග වැඩ කටයුතු කිරීමේදී නව තාක්ෂණය සමග බද්ධ කිරීමේ අවශ්‍යතාවය හා වටිනාකම අපි අවබෝධ කරගෙන ඉදිරි කටයුතු කරගෙන යනවා.” යනුවෙන් පවසා ඇත.

මේ සියල්ල සමග දකුණු ආසියානු රටවල ගුවන්තොටුපොල අතුරින් තාක්ෂණයෙන් ඉහළම හා දියුණුම ගුවන්තොටුපොළ බවට පත් කරන්න කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “කෝවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ වගේම ලෝකයේත් සංචාරක ව්‍යාපාරය යම් පසුබෑමකට ලක් වුණා. එන්නත්කරණ ක්‍රියාවලිය සමඟ නැවත වතාවක් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.

ලෝකයේ රටවල් අතරින් ඉතාම සාර්ථකව එන්නත්කරණය ක්‍රියාත්මක වන රටක් විදියට ශ්‍රී ලංකාව මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයටත් එන්නත්කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ ගුවන්තොටුපොල විවෘත  කර රටට සංචාරකයන් ගෙන්වාගෙන අපිට අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට හිමිකරදීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ ලක්ෂ 30 කට අධික තරුණ පිරිසට නැවත ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව කරගෙන යාමේ අවස්ථාව උදා කර දෙන බවත් ඔහු සඳහන් කරයි.

“ඔවුන්ගේ අහිමි වූ ආදායම් නැවත ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ගලා ආ විශාල විදේශ විනිමය ප්‍රමාණය නැවත අප රටට ගලා එන බවට අපි විශ්වාස කරනවා.” යනුවෙන්ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

Visits: 93