ශ්‍රී ලංකා බැංකු සංගමයේ වෙබ් අඩවිය වැඩිදියුණු කර යළි දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ශ්‍රී ලංකා බැංකු සංගමයේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කර නැවත දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි.

මේ සඳහා පැවති අතථ්‍ය (Virtual) උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. www.slba.lk ලිපිනය ඔස්සේ දැන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි වේ. 

මෙම උත්සවයේදී අදහස් දක්වමින් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය දියුණුව කරා රැගෙන යාමට,තිරසාර මූල්‍ය වැඩසටහන් වැනි නවෝත්පාදනයන් සමගින් පෙරමුණ ගන්නා අතරම,බැංකු ක්ෂේත්‍රයේ ශක්තිය හා ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා බැංකු සංගමය ලබාදෙන දායකත්වය හා චින්තන නායකත්වය අපගේ ඇගයීමට ලක්විය යුතු යි.

“බැංකු ක්ෂේත්‍රය තුළ උපදේශනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් පාර්ශ්වයන් සමග නිරන්තර සංවාදයන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා බැංකු ආයතනය දරන උත්සාහය ප්‍රශංසනීයයි. අද දින මේ වෙබ් අඩවිය දියත් කිරීම, ශ්‍රී ලංකා බැංකු ආයතනයේ මෙන්ම සමස්ත බැංකු ක්ෂේත්‍රයේම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. රටේ ආර්ථිකයේ පුනර්ජීවනයට සහ තිරසාර සංවර්ධනයට නවෝත්පාදනයන් ඔස්සේ සක්‍රීයව දායක වීමට බැංකු ක්ෂේත්‍රය කටයුතු කරනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.”

“දේශීය ආර්ථික/ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් ගත්විට, වර්තමානයේ පවතින ඇප පදනම් කරගත් ණය දීමේ සම්ප්‍රදාය පිළිබඳව නැවත සිතා බැලීම සහ, වර්ධනයට හිතකර, ව්‍යපෘති පදනම් කරගත් ණය දීමේ ක්‍රමවේදයන් වැනි විකල්ප පිළිබඳව අවධානය යොමු කිරීමත් අවශ්‍යයි. මෙම නවෝත්පාදන උත්සාහයන්ට නායකත්වය දීමට ශ්‍රී ලංකා බැංකු ආයතනය කටයුතු කරනු ඇතැයි කියා මා සිතනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා බැංකු ආයතනයේ මූලික අරමුණ වන්නේ,බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සමස්ත ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ක්ෂේත්‍රයේ සාමාජිකයන්ට හා නියාමන ආයතන වලට අත්වැලක් වෙමින් සහ ඒ ඔස්සේ රටේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කරමින්, ජනතාවගේ යහපත සඳහා කටයුතු කිරීමට බැංකු වලට මගපෙන්වීම ය.

ක්ෂේත්‍රය සම්බන්ධ තොරතුරු සපයන මූලාශ්‍රයක් සහ වැදගත් මාතෘකා සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර සංවාදයන් නිර්මාණය කරන පදනමක් බවට පත්වෙමින්, ඉහත අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙම වෙබ් අඩවිය පැහැදිලි දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව වෙබ් අඩවිය දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා බැංකු ආයතනයේ සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “මෙම වෙබ් අඩවිය දියත් කිරීමට හැකිවීම අපට මහත් සතුටක් සහ ආඩම්බරයක්. බැංකු ක්ෂේත්‍රය සහ එහි පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා හා සන්නිවේදනය වඩාත් හොඳින් නවීකරණය හා ඩිජිටල්කරණය කිරීමට අපදක්වන උනන්දුව කෙබඳුද යන්න මෙම නව වෙබ් අඩවිය මගින් මනාව පැහැදිලි වනවා.”

“බැංකු ක්ෂේත්‍රය තුළ මෙන්ම, පොදු ජනතාව සහ මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන් අතර වඩාත් පහසුවෙන් තොරතුරු හුවමාරු කරගැනීමට මෙම වැඩසටහන මනා පදනමක් සපයනු ඇති. COVID-19 රෝග ව්‍යාප්තියට පසු ලෝකය තුළ දැනටමත් ඩිජිටල්කරණයට ප්‍රමුඛස්ථානයක් හිමි වී ඇති අතර, බැංකු ක්ෂේත්‍රයේ අංශ රාශියක් ආවරණය වන පරිදි ඩිජිටල් පරිවර්තනයකට මුල් විය හැකි අඩිතාලමක් ලෙස සහ, ක්ෂේත්‍රයේ සාමාජිකයන්ට ක්ෂේත්‍රය සමගත් එකිනෙකා සමගත් සම්බන්ධ විය හැකි  පදනමක් ලෙස මෙම වෙබ් අඩවිය දියත් කිරීමට හැකි වීම අපට ඉමහත් සතුටක්. මේ වනවිට ඩිජිටල්කරණය බැංකු ක්ෂේත්‍රයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති බැවින්, ඒ ඔස්සේ නව ලෝකය තුළ මුහුණ දීමට සිදුවන අභියෝග සාර්ථකව ජයගැනීමට අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් වැදගත්.”

ශ්‍රී ලංකා බැංකු සංගමය යනු මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංගමය වන අතර, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කටයුතු සිදුකරන බැංකු 30 ක් පමණ එහි සාමාජිකත්වය දරයි. 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය සංස්ථාගත කර තිබේ. මේ වනවිට බලපත්‍රලාභී වාණිජ බැංකු 24 ක් සහ බලපත්‍රලාභී විශේෂ බැංකු 6 ක් එහි සාමාජිකත්වය දරයි.

Visits: 39