AMF රු.මිලියන 500 හිමිකම් නිකුතුව ජූලි 29 දා
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී (AMF.N0000) සමාගම ලබන ජූලි 29 වැනිදා රුපියල් මිලියන 500ක වටිනාකමින් යුත් සිය හිමිකම් කොටස් නිකුතුවක් සිදු කරන බව පවසයි.
මෙම හිමිකම් නිකුතුව සඳහා කොටස් හිමිකරුවන්ගෙන් අවසරය ලබා ගැනීම සඳහා වන සමාගමේ අතිවිශේෂ මහා සමුළුව ලබන ජූලි 14 වැනිදා පැවැත්වීමටද නියමිතව තිබේ.
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම හිමිකම් නිකුතුවේදී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 3,497,755ක් නිකුත් කිරීමට සැලසුම් කර සිටියි.
ඒ අනුව දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10ක් නිකුත් කිරීම මෙහිදී සිදුවන බව සමාගම පවසයි.
එහිදී කොටසක් රුපියල් 143.00ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් 500,178,965 කි.
අද වන විට ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ ප්‍රකාශිත වත්කම රුපියල් 111,094,976.00 කි.
මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර ඇති උපදෙස් අනුව මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම පවසයි.
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමගින් ඒකාබද්ධවීම සිදුවූ අතර, ඉන් ඉදිරියට සමාගම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී නමින් පමණක් මෙහෙයුම් සිදු කරයි. එහිදී ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සීහි කොටස්හිමිකරුවන් වෙත යම් අනුපාතයකට ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් ලබාදීමක් සිදු විය.

Hits: 302