බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමති

නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.

මෙතෙක් කලක් එම අමාත්‍ය ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට මෙම නව පත් කිරීම සිදුව තිබේ. මෙහිදී සිදුව ඇති අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම සිදුව ඇත.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිස ඇත. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය.

කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියායාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේය. “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” ප්‍රධානී ලෙස ද බැසිල් මහතා කටයුතු කරයි.

මෙම දිවුරුම්දීමේ අවස්ථාව සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ එක්ව සිට ඇත.

ඉන් අනතුරුව ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සිදු කර තිබේ.

Visits: 83