බැංකුවල ඩොලර් එකට රු.200ක් ගෙවද්දි එළියෙ රු.220 ට ඩොලර් විකිණෙන හේතුව

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල වැඩි වීම බොහෝ දෙනාට තේරුම් ගැනීම අසීරුය. මේ සම්බන්ධ විවිධ මත පළවේ. මේ ගැන බොහෝ දෙනා තේරුම් කරන්නෙ ගැඹුරු විදිහටය. මෙය විවිධ අය විවිධ විදියට දැකීමට හේතුවකි.

එනම් බොහෝදෙනා විස්තර කරනුයේ එක් කොටසක් පමණි. හරියට අර තරුණයන් කිහිප දෙනෙක්ට කළුවරේ අලියව අල්ලල අලිය මොන වගේද කියල කියන්න කිව්වා සේය. කකුල අහුවුණ තරුණයාට අලියා වංගෙඩියක් විය. කන අසවූ තරුණයාට අලියා කුකුළෙක් විය. මේ නිගමනයන් හැම දෙයම කොටස් වශයෙන් ගත්විට එය සම්පූර්ණයෙන් වැරදි නොවන නමුදු නිවැරැදි ද නැත. එහෙත් අලියා මොන වගේදැයි දැන ගැනීමට නම් මුළු අලියාම එක පාර බැලිය යුතුය.

ඩොලර් එක වැඩි වෙන්නෙ ඇයි? එහිදී අලියගෙ කකුල අල්ල ගත්තා මෙන් එක පිරිසක් මේක අල්ල ගන්නෙ ආනයන අපනයන ගෙනි. ශ්‍රී ලංකාවට ඩොලර් නැති බව රහසක් නෙවේ. වසර ගණනාවක සිට අපට ඩොලර් ලැබෙන්නෙ අඩුවෙනි. මෙය ආනයන අපනයනයන් ගැන විග්‍රහ කරන්නන් පවසන්නේ ‘අපි ඩොලර් බිලියන 20ක් ආනයනය කර, අපනයනය කරන්නෙ ඩොලර් බිලියන 10ක් ලෙසිනි. එනිසා ඉතුරු දහය පිරවීමට අපි ඩොලර්වලින් සල්ලි සෙවිය යුතු බවත්, එහිදී ඩොලරයේ මිල ඉහළ යන බවයි.

බැලූ බැල්මට එම තර්කයේ වරදක් නැත. එනිසා ආනයන තහනම් කළ යුතු බව පවසයි. අපනයන විවිධාංගීකරණය කර, අගය එකතු කළ අපනයනයන්ගෙ අවශ්‍යතාව පෙන්වාදේ. ඩොලර්වල මිල වැඩි වීමට බොහෝ ජනප්‍රිය මතය එයයි. නමුත් ඔවුන්ට ලෝකයේ නවීන ආර්ථිකය හැඩ ගැසී ඇති ආකාරය ගැන නිරවුල් අවබෝධයක් නැත. අපේ අපනයන රඳාපවතින්නෙ ආනයන මතය. අපේ ආනයන වලින් 80%ක්ම ප්‍රාග්ධන භාණ්ඩ සහ අතර මැදි භාණ්ඩය. එසේ නම් ඩොලර් ඉතුරු කිරීමට ආනයන තහනම් කළ විට අපනයනයද කඩා වැටේ. ඒ ගැටලුවේ එක් පැත්තකි.

එමෙන්ම තවත් පිරිසක් පවසනුයේ අප ණය ගැනීම නිසා ඒවා ගෙවීමට ඩොලර් අවැසි බැවින්, ඩෝලර් මිල ඉහළ යන බවයි. තව පිරිසක් ඇමැතිවරු වාහන ගේනව, වියදම් කරන නිසා අපට ඩොලර් හිඟ බව පවසති. මේ සෑම කතාවකම ඇතැම් කොටස්වල සත්‍යතාවක් ඇත. එය අලියගෙ අල්ල ගත්තා සේ පවසන විස්තර වැනිය. එසේ නම් මුළු ප්‍රශ්නයම දිහා බැලිය යුත්තේ කෙසේද?

මේ වන විට රජය සහ විපක්ෂය විශාල මූල්‍ය ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන තිබේ. එය ඉතාම සාධනීය තත්ත්වයකි. ඊට හේතුව ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සොයා ගැනීමේ පළවෙනි පියවරයි. මෙම ගැටලුවේ බොහෝ දෙනෙක් නොදකින මානයක් නම් ‘මූල්‍ය ප්‍රතිපත්තිය“ [Monetary Policy] නැත්තම් මහ බැංකුව රටේ භාවිතයට සපයන මුදල් ප්‍රමාණයයි. සල්ලි අච්චු ගසනවා යනු ඔය මුදල් ප්‍රමාණය වැඩි කිරීමටය.

මෑත කාලයේදී ශ්‍රී ලංකා බහ බැංකුව යම් මුදල් ප්‍රමාණයක් අච්චු ගසන බවත් සඳහන්ය. (ආර්ථික විද්‍යාවෙන් පවසනවා නම් මහ බැංකුව සතුව තිබෙන භාණ්ඩාගර බිල්පත්වල එකතුව තමයි මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය ලෙස සැලකෙන්නේ) දත්ත අධ්‍යයනයේදී පෙනෙන දෙය නම්, සෑම විටම මහ බැංකුව මුදල් අච්චු ගසන විට (රජයේ භාණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගන්නා විට) ඩොලර් හිඟයක් ඇති වන බවය. මෙය බොහෝදෙනා තේරුම් ගෙන නැත.

සල්ලි අච්චු ගසද්දි බොහෝ දෙනා පවසනුයේ එයින් උද්ධමනය නැත්තම් අපි එදිනෙදා ගන්නා භාණ්ඩවල මිල වැඩිවෙන බවයි. එම ප්‍රශ්නයට පිළිතුරු දෙන මහ බැංකුව සහ ඇතැම් ආර්ථික විද්‍යාර්ථයන් ප්‍රකාශ කරනුයේ ‘ආර්ථික අවපාතයකදී, එනම් මිනිස්සුන්ට රැකියා අඩුවී, පරිභෝජනය සීමා කර ඇති සමයකදී සල්ලි අච්චු ගැහුවට ප්‍රශ්නයක් නැති බවත්, ඇමරිකාව ජපානය වැනි රටවල් ද නිරන්තරයෙන් සල්ලි අච්චු ගසන බවත්ය. එසේ කිරීමෙන් ආර්ථිකයට නව පණක් ඇවිත් සක්‍රීය වෙන වන බවත්ය.

එම තර්කන ගෙන එන්නන්ට අමතක වෙන දෙයනම් ඇමරිකාව සහ ජපානය වැනි රටවල් භාවිත වන්නේ ස්ථාවර මෙන්ම මුළු ලෝකයේම ඉල්ලුමක් තියෙන මුදල් ඒකකවලට බවයි. ඒ නිසා ඔවුන්ට එසේ කළ හැකිවුවද අපිට එසේ කිරීම දුෂ්කරය. අප එසේ කළ විටම ඩොලර් අඩුවී එය විනිමය ප්‍රශ්නයක් දක්වා දුරදිග යනු ඇත. (Balance of payment crisis – BOP crisis)

2019 වර්ෂයේ මුල් වකවානුවේදිත් මේ ප්‍රශ්නය මෙලෙසම පැන නැගුණි. රජය සතුව තිබූ බිලියන 68ක්ව පැවති භාණ්ඩාගාර බැඳුම්කර බිලියන 180 දක්වා වැඩි කරනු ලැබීය. එනම් රුපියල් බිලියන 112ක පමණ මුදලක් ක්‍රමාණුකූලව මුද්‍රණය කළේය. නමුත් නැවත මූල්‍ය පද්ධතියේ තිබූ මුදල් අවශෝෂණය කිරීමත් සමග තත්ත්වය වසර අග වන විට තරමක් සමනයකට පත්විණි.

දැන් තත්ත්වය 2019 මුල් භාගයට වඩා වෙනස්ය. 2019 මුල්භාගයේ බහ බැංකුව සතුව තිබූ රු. බිලියන 112 වටිනා භාණ්ඩාගාර බිල්පත් සමග සැසඳීමේදී මේ වනවිට බිලියන 919 ක් පමණ ප්‍රමාණයක් මහ බැංකුව සතුව භාණ්ඩාගාර බිල්පත් ඇත. එනම් 2019 අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කරන ලද කාලයට සාපේක්ෂවත් තවත් බිලියන 800 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. ඒ අනුව 2019 මුල් වකුවානුවේ ඇති වූ ආකාරයේම ඩොලර් අර්බුදයක් දැන් ඇතිවී තිබීම නොවැළැක්විය හැකිය.

රුපියල් මුද්‍රණය කළ විට ඩොලර් අඩු වෙන්නෙ කෙලෙසද?

එයට හේතුව නම් රුපියල මුද්‍රණය කිරීමේදී අපේ පර්භෝජනය වැඩිවේ. අපේ පරිභෝජනයේ වැඩි කොටසක් තිබෙනුයේ ආනයනවලින් සමන්විත වියදම්වලිනි. උදාහරණයක් ලෙස අපි නිවසක් සාදනව නම් යකඩ සිමෙන්ති ඇතුළු බොහෝ දේ ආනයනය කිරීමට සිදුවීම නැවැත්විය නොහැකිය. ඒ නිසා මෙය පාලනය කළ හැක්කේ අපගේ පාරිභෝජනය අඩු වීමෙන් සහ වෙළෙඳපොළ ක්‍රමය මත පදනම් වී ස්වභාවික මිල තීරණය වීමකට ඉඩ දීමෙන් පමණි.

සල්ලි අච්චු ගැසීමෙන් සිදුවන සිද්ධාත්නය බොහෝදෙනාට අවබෝධ කරගත නොහැක්කේ අපේ රුපියල සහ පිටරට මුදල් ඒකකයි අතර ඇති සම්බන්ධතාව අවබෝධ කර ගැනීම අසීරු බැවිනි. මෙය අවබෝධ කර ගැනීමට නම් මුදල් බිහිවීමේ ඉතිහාසයට යා යුතුය.

අතීතයේ මුදල් තිබුණේ රත්තරන් රිදී වැනි කාසිවලිනි. නෝට්ටු නොතිබිණි. එසමයේ අලුතින් සල්ලි අච්චු ගසනවා නැති නම් කාසි හදනවා යනු වැඩි වැඩියෙන් රත්තරන් රිදී වැනි වටිනා ලෝහ තවත් භාවිතයට ගැනීමය. සරලව පවසනවා නම් සෑම කාසියකම වටිනාකමට ගැළපෙන රන් හෝ රිදී හෝ වටිනා ලෝහයක් ඒ කාසිය ඇතුළෙම ගැබ් වී ඇත. එනිසා කෙතරම් කාසි හැදුවද ගැටලුවක් නොවිණි.

ඊට හේතුව නම් කාසියත් සමගම යම් කිසි නිෂ්පාදනයක් සහ ක්ෂය නොවන වටිනාකමක් එකී කාසි‍යේ ගැබ්ව තිබීමයි. වර්තමානයේ භාවිත කරන නෝට්ටු කිසිදු වටිනාකමක් නැති කොළ කැබැල්ලකි. එයට වටිනාකමක් ලැබෙනූයේ අදාළ රජයෙන් දෙන නීතිමය වටිනාකම පමණි.

මේ නෝට්ටුවට යම්කිසි වටිනාකමක් ලබාගන්න කරන එක දෙයක් නම්, මේ නෝට්ටුව සාමාන්‍යයෙන් මිල ඉහළ පහල නොවන රත්තරන් හෝ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් වැනි ස්ථාවර මුදල් ඒකකයක් හෝ ඒකක කිහිපයක් සමග ඇමිණීමයි. එය හඳුන්වනුයේ Peg කරනවා යනුවෙනි. ඇතැම් රටවල ඔවුන්ගේ රටේ මුදල් ඒකකය මෙවැනි ස්ථාවර මුදල් ඒකකත් සමග සෘජුවම, තදින්ම අමුණා ඇත.

එනම් එකී රටවල මූල්‍ය පද්ධතියේ ඇති සම්පූර්ණ භෞතික මුදල් ප්‍රමාණය (Money base) ඔවුන්ගේ රටේ තිබෙන රත්‍රන්, ඩොලර්, ස්ටර්ලිං පවුම්, වැනි ස්ථාවර මුදල් ප්‍රමාණයට සමාන හෝ අඩුය. අලුතින් මුදල් අච්චු ගැසිය හැක්කේ ස්ථාවර මුදල් ඒකක වල වටිනාකමට පමණි. හිතුමතයට මුදල් අච්චු ගැසිය නොහැක. මුදල් අච්චු ගහනවා නම්, ඒ අච්චු ගහන මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තමන්ගෙ සංචිත වැඩි කළ යුතුය. එය විනිමය පාලක ස්වභාවයක් ලෙසින් හඳුන්වයි. (Currency Board). Currency Board යනු නීතිමය රාමුවක් මිස මිනිසුන් සිටින සභාවක් නොවේ. මිනිස්සු සිටිනුයේ දෛනික කටයුතුවලට පමණි.

ඒ වගේ රටවල් වලට මහ බැංකුවක් අවශ්‍ය නැත. නීතියෙන්ම මුදල් අච්චු ගැසිය හැක්කේ ‍රට සතුව තිබෙන සංචිත ප්‍රමාණයට පමණි. හොංකොං වැනි රාජ්‍යයන් අනුගමනය කරනුයේ Currency Board ක්‍රමයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව දැනට රටවල් 48 ක් පමණ Currency Board භාවිත කරයි. ඇතැම් රටවල් කෙළින්ම තම රටේ මුදල් ඒකකයක් නොමැතිව ස්ථාවර මුදල් ඒකකයක්ම භාවිත කරයි. Dollarization යනු එයටයි. පැනමාව වැනි රටවල් භාවිත කරනුයේ කරන්නේ ඇමරිකානු ඩොලරයයි. (පැනමානු බැල්බෝලාව[Balboa] තිබුණ ද මූලිකව භාවිත වන්නේ ඇමරිකානු ඩොලර්ය.

මෙවැනි ක්‍රමයක් පාවිච්චි කරන්න දැඩි මූල්‍ය විනයක් අවැසිය. ඊට හේතුව යම් ගැටලුවක් ඇති වුවහොත් මැද්දට පැන මුදල් සැපයීමට කිසිවෙක් නොමැතිවීමයි. එලෙස සැපයීමට ද නොහැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ වියදම ආදායමට වඩා වැඩි වූ විට මහ බැංකුවෙන් මුදල් ඉල්ලිය නොහැක. වැඩිපුරම මහ බැංකුව මුදල් අච්චු ගසනූයේ රජයේ වියදමටය. රජයේ වියදම වැඩිවන විට ඉබේම ඩොලර් අඩුවේ. මාර්ගවල ඉන්ධන සහ නොයෙක් ව්‍යාපෘති වල වැඩිපුරම ඇත්තේ ආනයනය. රජය වැඩිපුරම මුදල් විය‍දම් කරන්නෙ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මහා මාර්ග වැනි දේටය. ඒ සෑම දේම ආනයනය. (රාජ්‍ය සේවක වැටුප් සහ අනෙක් සුබසාධන වියදම් හැරුණු විට).

මෙරටද Currency Board එකක් හෝ ඒ සමාන ආකෘතියක් ඉදිරිපත් කළ හැකි නම් මේ ප්‍රශ්නය අපිට යම් තාක් දුරකට සමනය කරගත හැකිය. එය කළ නොහැක්කේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි බැවින් මුදල් අඩුවෙන සෑම මොහොතකම මහ බැංකුවෙන් මුදල් ඉල්ලීම නිසාය. බොහෝ අය රුපියල අවප්‍රමාණ වීම, ඩොලර් නොමැතිවීමට හේතුව විදිහට ආනයනය දැක්කට සත්‍ය ලෙසම රුපියල අවප්‍රමාණ වන්නේ වැඩිපුර මුදල් අච්චු ගහන නිසාය.

වැඩිපුර මුදල් අච්චු ගහන්න වෙන්නේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි නිසාය. ලංකාවෙ රුපියල් ට්‍රිලියන 1 ක් (බිලියන 1000) පමණ අය වැය පරතරයක් තියෙනව සෑම වර්ෂයකම. එනිසා ඩොලර් අඩුවෙන්න මුල්ම හේතුව මුදල් අච්චු ගැසීම සහ රජයේ වියදම වැඩිවීමයි. එමෙන්ම අලියා සම්පූර්ණයෙන් දකින්නෙ නැතුව කොටස් වලින් අල්ලා නිගමනය දෙනා මෙන්ම මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් නොදැක විසඳුම් යෝජනා කිරීම ප්‍රශ්නය තවත් වැඩිවීමක් බවත් මතක තබාගත යුතුය.

Views: 758