“රටේ බැංකු අස්ථාවර වී නැහැ, ජූලි 27 බිලියනයක ණය ගෙවීමට රජය සූදානම්” – මහ බැංකුව

මෙරට බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට හානි කෙරෙන අයුරින් හා ජනතාව තුළ අනුමාන කිරීම් සම්බන්ධ දිරි ගැන්වීම් සිදු කරමින් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් සිදු කරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා රජයේ ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මෙවැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන මතු කර ඇති කාරණා පිළිබඳව මහජනතාවට සහ ආයෝජක ප්‍රජාවට දැනුවත් කිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ පිළිබඳව සඳහන් කරයි.

“ආයෝජන අවස්ථාවන් සලසා දීම සහ විදේශ අරමුදල් මෙරටට ගලා ඒම තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින්, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව, විදේශ විනිමය ණය සීමා, විදේශ මුදල් ද්‍රවශීලතා අනුපාතය, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව, වෙළෙඳ පොළ අවදානම සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණ රාමුව යනාදී කරුණුද ඇතුළත්ව අවදානම් කළමනාකරණය කිරීමේ සියලු ක්‍රියාමාර්ග ගනිමින් විදේශයන්ගෙන් රැස්කරගන්නා ලද අරමුදල් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කරවල සම සමව ආයෝජනය කිරීමේ අවසරය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජබැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ලබා දී ඇත.”  මහ බැංකු නිවේදනයේ සඳහන් වෙයි.

මෙහිදී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් විදේශ ප්‍රභවයන්ගෙන් අරමුදල් රැස් කරගැනීම, වෙළෙඳ පොළ ඇති ආයෝජන අවස්ථා අනුව සිදුවන්නක් බව මහ බැංකුව පවසයි. එහිදී මෙම තීරණ හුදෙක්ම එම බැංකුව ශ්‍රේෂ පත්‍රවල ශක්තිය සහ අවදානම් අවම කිරීමේ විචක්ෂණශීලී පිළිවෙත් අනුගමනය කිරීම මත පදනම් වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

“මෙරට බැංකු ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින්, සියලුම බලපත්‍රලාභී බැංකු, බාසල් III ජාත්‍යන්තර ප්‍රමිතීන් මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා හා ද්‍රවශීලතා අවශ්‍යතාවන්ට සහ අනෙකුත් ප්‍රධාන විචක්ණශීලි අවශ්‍යතාවන්ට අනුකූල බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.” මෙම නිවේදනයේ සඳහන් වෙයි.

එසේම සියලුම ණය ගෙවීමේ වගකීම් නියමිත වේලාවට සපුරාලනු ඇති බවට සහති කිරීමේ ස්ථාවරය ශ්‍රී ලංකා රජය නැවත අවධාරණය කර ඇති බව පවසන මහ බැංකුව, එමගින් ණය සම්බන්ධ සියලු වගකීම් ඉටු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නොකැළැල් වාර්තාව අඛණ්ඩව පවත්වා ගෙන යාම පිළිබිඹු කරන බවත් පවසයි. ඒ අනුව 2021 ජූලි 27 වන දිනට කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර පියවීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කර ඇතැයිද මහ බැංකුව අවධාරණය කර තිබේ.

Visits: 392