ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් හිමිකම් නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් සිය හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි. මෙම නිකුතුව සම්බන්ධයෙන් ඉල්ලා තිබු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අනුමැතිය ඊයේ (ජූලි 01) වැනිදා හිමි වූ බවත් එම සමාගම සඳහන් කරයි.
මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 101ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 8ක් නිකුත් කිරීමක් සිදු කරන බව ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.
ඒ අනුව මෙම නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 8,616,504ක් නිකුත් කිරීම සිදු වෙයි. මෙහිදී එක්කොටසක් රුපියල් 65 බැගින් නිකුත් කෙරෙන අතර මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 560ක් (560,072,760) ක් ලෙස ගණන් බලා තිබේ.
අද වනවිට ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.3ක් (2,374,509,339.50 කි).
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති 2017 අංක 02 දරන චක්‍රලේඛය අනුව මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් පවත්වාගත යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී පවසයි.
කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව පිළිබඳ තීරණය කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ මහාසභා රැස්වීමේදී කොටස් හිමිකරුවන්ගෙන් ඊට අනුමැතිය ලබා ගැනීමට ඇති බවත් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී පවසයි.

Hits: 257