මහජන බැංකුව 60 වැනි සංවත්සරය සමරයි

මහජන බැංකුව ස්ථාපිත කර ඊයේ (ජුලි 01) වන දිනට හැට වසරක් සැපිරීම සිදු විය. රටේ පවතින කොවිඞ් වසංගත තත්වය තුළ රජයේ සෞඛ්‍ය නිර්දේශවලට අනුකුලව මෙම දියමන්ති ජුබිලි සංවත්සර සැමරුම චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්වුණු බව බැංකුව පවසයි.

මේ අනුව රටට,  ජනතාවට,  ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහනක් මහජන බැංකුව ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු පවත්වා තිබේ. 

මෙදින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි  රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් කාර්ය මණ්ඩලය ඇමතූ අතර, මූලස්ථාන ශාඛාවේ ස්ථාපිත කළ ඩිජිටල් චෙක්පත් තැන්පතු යන්ත‍්‍රය විවෘත කිරීමද සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය හා විශ‍්‍රාමික සේවක පිරිස්ද සහභාගි විය. 

එමෙන්ම මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය සමරමින් මහජන බැංකුවේ සභාපතිතුමා සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරිතුමා විසින් කොළඹ 02, නවලෝක රෝහල් පරිශ‍්‍රයේදී ස්වයං බැංකුකරණ ඒකකයක් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට නවලෝක හෝල්ඩින්ග්ස්හි සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු නවලෝක හෝල්ඩින්ග්ස්හි නිලධාරින් සහභාගි වූහ.

ශ‍්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය හා ගැමි ජනතාව නඟා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය.  එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ,  ආහාර සමූපකාර හා නාවික  කටයුතු අමාත්‍යවරයා වූ  ගරු ටී.බී.ඉලංගරත්න ශ‍්‍රීමතාණන්ය.  මහජන බැංකුවේ ප‍්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත‍්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

මහජන බැංකුව වර්තමානය වන විට දිවයිනේ ප‍්‍රමුඛතම බලපත‍්‍රලාභි වාණිජ බැංකුවක් වන අතර දිවයින පුරා විහිදුනු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741 කින් සහ 8000 කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. මහජන බැංකුව සිය පුරා හැට වසරක ඉතිහාසය තුළ මිලියන 14 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවා සපයමින් මිලියන 19 කට අධික ගනුදෙනුකාර සම්බන්ධතාවයන් සහිතව දිවයිනේ විශාලතම මූල්‍ය සේවා සපයන්නා බවට පත්ව ඇත. 1961 අංක 29 දරණ පනතින් මහජන බැංකුව ස්ථාපිත කළ අතර, දිගු කලක් මු`ඵල්ලේ ෆිච් රේටින්ග් ශ්‍රේණිගත කිරීමේදි (AA-(lka/Stable) යන ශ්‍රේණිගත කිරීම තහවුරු කරගැනීමට සමත්ව ඇත.

ඩිජිටල්කරණයේ ප‍්‍රතිලාභ මුළු රටටම ලබාදී එය ගනුදෙනුකරුවන් හට වඩාත්  සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුව 2015 දී  ඩිජිටල් බැංකුකරණයට පිවිසියේය. එතැන් සිට බැංකුවේ පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා සියලූ මෙහෙයුම් අංශ ඇතුළත් වන පරිදි සමස්ත මෙහෙයුම් ආකෘතියම ආවරණය කරමින් අංග සම්පූර්ණ ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් දියත් කරමින් සිය ගනුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකු විසඳුම් ලබාදීමට මහජන බැංකුවට හැකිවිය. රාජ්‍ය බැංකුවක් ලෙස, ඩිජිටල් මූල්‍ය සේවාවන් මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමේ සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින මහජන බැංකුව, ශ‍්‍රී ලංකාව ඩිජිටල් සමාජයක් බවට පරිවර්තනය වන ගමන් මඟ තුළ සුවිශේෂි කාර්යභාරයක නිරතවී සිටින බවත් පවසයි.

Visits: 121