“ශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ වර්ධන තෝතැන්නයි” – ආයෝජන මණ්ඩල සභාපති

ඉදිරි වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට හා සැමට ප්‍රතිලාභ බෙදීයන අයුරින් සීඝ්‍ර වර්ධනයක් ලගාකර ගැනීමට අවශ්‍ය ආයෝජනයන් අත් කර ගැනීමට ක්‍රියාත්මක විය හැකි අංශ හයක් සහ ඊට සමගාමී උප අංශ සදහා වන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

පසුගියදා පැවැත්වූ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා 2021 ආයෝජන හමුව වෙත එක්වෙමින් මොහොට්ටාල මහතාද මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ.
ඒ අනුව නිෂ්පාදනය, කෘෂිකර්මය සහ ආහාර සැකසීම, වෙනත්සේවා සහ යටිතල පහසුකම්, ඩොලර් බිලියනය ඉක්මවූ ප්‍රමුඛ දිරිගැන්වීම් අවස්ථා සහිත ඖෂධ කලාපයක්, ලොව වඩාත්ම මානව හා පාරිසරික හිතවාදි ප්‍රතිපත්තීන් අනුගමනය කෙරෙන ඇඟලුම් මූලාශ්‍ර ගමනාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කොළඹ වරාය නගරය (PORT CITY) එම අංශ වෙයි.

නිෂ්පාදනය
අද වන විට ශ්‍රී ලංකාවෙන් සිදුවන කාර්මික අපනයන වලින් 85% ක්ම නිෂ්පාදනය කරනුයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් විසිනි. පවත්නා කර්මාන්ත පුළුල් කිරීම සඳහා දිරිගැන්වීම් සිදු කරන අතරම, 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන හෝ ආනයන ආදේශන කරා ළඟා වීම සඳහා ප්‍රධාන නිෂ්පාදන අංශ කිහිපයක් රට තුළ මුල් බැස ගැන්වීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කර ඇත. ඖෂධ නිෂ්පාදනය සහ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිළි , ඉලෙක්ට්‍රොනික් හා විශේෂයෙන්ම මිනිරන් ආදි තාක්ෂණික උපාංග නිෂ්පාදනය වැනි අවස්ථා ආයෝජකයින්ට ප්‍රයෝජනයට ගත හැකිය.

කෘෂිකර්මය සහ ආහාර සැකසීම
රබර් නිෂ්පාදන, කෘෂි හා ආහාර සැකසුම් සහ ධීවර අපනයනය හරහා ඩොලර් බිලියන 3-5ක අමතර අපනයන ආදායමක් රැස් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඝණ (Off Road) ටයර් නිෂ්පාදනය වෙනුවෙන් වූ ගෝලීය මුලස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇත. අද වන විට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමින් යුත් ටයර් අපනයනය සහ රබර් මත පදනම් වූ නිෂ්පාදන මෙරට සිදු කෙරේ.

ඒ වෙනුවෙන් ඉහළ පෙළේ ටයර් නිෂ්පාදකයින් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් සිටිති. මෑත කාලයේ ආරම්භ වන නව ව්‍යාපෘති සමඟින්, සමස්ත අපනයන 2023 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ළඟා වනු ඇත. 2025 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන වෙළඳපොළක් බවට පත් කිරීම අපගේ අරමුණයි.

කාබනික ගොවිතැනට යොමුවීම රජයේ මෑත කාලීන ප්‍රතිපත්ති වී ඇත. ගෝලීය ආහාර නිෂ්පාදකයින්ට, ඉහළ යන ගෝලීය ජනගහනයේ ‘යහපත් ආහාර සංස්කෘතියක්’ පිළබඳ ප්‍රවණතා සපුරාලීම සඳහා ආහාර සැකසුම් වෙනුවෙන් කාබනික නිෂ්පාදන වලට ප්‍රමුඛතාව ලබාදීමේ වාසිය අත්කර ගැනීමට පෙර නොවූ විරූ අවස්ථාවක් උදාවී තිබේ. අපගේ විශාල වෙරළ තීරයන් සහ පුළුල් ආර්ථික කලාපයන් සමඟ, ඉන්දුනීසියාව වැනි රටවල් අනුකරණය කරමින් ජලජීවී වගාව සහ සමුද්‍ර අපනයනය විශාල ලෙස වැඩි කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

වෙනත් සේවා සහ යටිතල පහසුකම්
දැනටමත් මෙරට ආයෝජනය ආරම්භ කර ඇති විදේශීය සමාගම් 1200 ක් පමණ සිය නිෂ්පාදන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. වෙළඳ, බැංකු, රක්ෂණ සහ නාවික වැනි සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් වරාය නගරය සහ එහි නීති සම්පාදනය කර ඇත.

ඒ සමගම සිය මූලස්ථාන හෝ කලාපීය කේන්ද්‍රස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරන සමාගම් සඳහා ශ්‍රී ලංකාවද ඩුබායි, කටාර් සහ ලාබුවාන් වැනි ආකර්ශනීය ආයෝජන තෝතැන්නක් වනු ඇත. රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ වන විට, යටිතල පහසුකම් සම්පාදනය කරන ආයෝජකයන්ට පෙර නොවූ විරූ ආයෝජනඅවස්ථාවන් නිර්මාණය වේ. විශාල නගර ආශ්‍රිත ජනතාවකගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මහල් නිවාස, මාර්ග ජාල සහ වේගවත් සංක්‍රමණ පද්ධති වැනි යටිතල පහසුකම් මීට සමගාමීව ගොඩනැගේ.

සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙන රජයක් ලෙස, රටේ තරඟකාරිත්වය සහ අනාගත සංවර්ධන සැලැස්ම දියුණු කිරීමට බොහෝ පියවර ගෙන තිබේ. මේ වනවිටත් ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පහසුව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර තිබේ.

අප දැනටමත් වසර 5 ක ස්ථාවර බදු ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී ඇත. ඒ සියල්ලටත් වඩා රට තුළ ස්ථාවර රජයක් ක්‍රියාත්මක වේ. ප්‍රමුඛතා ලබාදිය යුතු අංශ වලට අමතර සහාය ලබාදීම සඳහා, වරාය නගර නීතිය හඳුන්වාදී ඇති අතර එමගින් ආයෝජකයන්ට පහසුවෙන් ආයෝජනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

වසර 10 කින් දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කරමින් ශ්‍රී ලංකාව ආසියාවේ මීළඟ වර්ධන තෝතැන්න බවට පත්වීමට නියමිතය. ආයෝජකයින් විසින් ඔවුන්ට ලබා දෙන ආකර්ෂණීය ආයෝජන අවස්ථා වලින් ප්‍රයෝජනය ගනු ඇතැයි අපේක්ෂා කරමි. රජයේ සංවර්ධන ක්‍රියාවලිය හා ඉහල යන ආයෝජන මත ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදිතය 7% කට වඩා ඉහළ අගයකින් පවත්වා ගෙන යාමට හැකියාව ලැබේ. එවිට 2025 වන විට අපනයන හා සේවා ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30 ඉක්මවනු ඇත.

දැනුම පදනම් කරගත් ආර්ථිකයකට පහසුකම් සලසමින් සහ ශක්තිමත් ‘කුසලතා සංචිතයක්’ ගොඩ නගමින් රජය අනාගත කුසලතා අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සකස් කර ඇති අතර හැකියාවෙන් සපිරි උපාධිධාරීන් තුන් ගුණයකින් වැඩි කිරීමට මේ අනුව බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව සිය ලිහිල් ආයෝජන ප්‍රතිපත්ති දිගටම පවත්වා ගෙන යන අතර, ආයෝජකයන්ට100% විදේශීය හිමිකාරිත්වය සහ සැඟවුණු බදු හෝ සීමාවන් නොමැතිව සිය ආදායම් ආපසු ගෙනයාමට ඉඩ ලබාදෙනු ලබයි.

ඩොලර් බිලියනය ඉක්මවූ ප්‍රමුඛ දිරිගැන්වීම් අවස්ථා සහිත ඖෂධ කලාපයක්
රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශක්තිමත් දේශීය ඖෂධ කර්මාන්තයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත. අප සතු නිපුණතාවයන් ගෙන් ප්‍රයෝජන ගනිමින් ඖෂධ නිෂ්පාදනය මෙන්ම ඖෂධ අපනයන වෙළදපොල කෙරෙහිද නැඹුරු වෙමින් සිටී. හම්බන්තොට වරායට හා අන්තර්ජාතික ගුවන්තොටුපළට යාබදව අක්කර 400 ක ඖෂධ නිෂ්පාදන කලාපයක් ඉදිකරමින් පවති. මුහුදු හා ගුවන් සේවා හරහා ඊට පහසුවෙන් ලඟා විය හැකිය.

සාමාන්‍ය එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ මෙන්ම පිළිකා වැනි රෝග සදහා වූ ඉහල වටිනාකමින් යුතු ඖෂධ දක්වා වූ ඕනෑම වර්ගයක ඖෂධ නිෂ්පාදනයක් සදහා මෙරට අවස්ථාව ඇත.

ව්‍යාපාර ආරම්භ කිරීමේදී පාරිසරික හා වෙනත් පූර්ව අවසරයන් ලබාගැනීමට හැකියාව පවතින අතර එමඟින් ඕනෑම සුදුසුකම් සහිත ආයෝජකයෙකුට කර්මාන්තය ආරම්භ කිරීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු කරයි. මෙම උපායමාර්ගික මුලපිරීමට සහාය දැක්වීම සඳහා රජය වසර 10 ක් දක්වා වූ බදු සහන කාලයක් ලබා දෙන අතර, මහාපරිමාන ආයෝජකයින් සඳහා විශේෂ දිරි දීමනා පැකේජද ලබා දෙනු ඇත.

ලොව වඩාත්ම මානව හා පාරිසරික හිතවාදි ප්‍රතිපත්තීන් අනුගමනය කෙරෙන ඇඟලුම් මූලාශ්‍ර ගමනාන්තය
ශ්‍රී ලංකාව ඇඟලුම් සඳහා ශක්තිමත් අතීත උරුමයක් පවතින රටක් වන අතර 1960 දශකයේ මැද භාගයේ සිට ඇගළුම් අපනයනය සිදු කරයි.ඇඟලුම් අංශයේ 400,000 කට ආසන්න පිරිසක් සෘජු රැකියාවල නියුක්තව සිටී. ලෝකයේ ජනප්‍රිය වෙළඳ සන්නාම වැඩි ප්‍රමාණයක ඇඟලුම් අප විසින් නිපදවනු ලබයි. සාධාරණ ශ්‍රම පිළිවෙත් අනුගමනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසාදය දිනා ඇත.

ගෝලීය ප්‍රවනතාවයන් කලින්ම හදුනා ගනිමින් වඩාත් පරිසර හිතකාමී ලෙස ඇගලුම් නිෂ්පාදන හා අපනයන කිරීමේ කේන්ද්‍රස්ථානය විමට අපි බලාපොරොත්තු වෙමු. මේ තුලින් සැපයුම් දාමය ශක්තිමත් කිරීම මෙන්ම නිෂ්පාදකයින් ගේ සහ ගැනුම්කරුවන්ගේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අපට හැකි වේ. දේශීය නිෂ්පාදනය වෙනුවෙන් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වූඅමු ද්‍රව්‍යය ආනයනය සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට ආයෝජකයින්ට අවස්ථාව විවෘත පවතී.

දකුණු ආසියාවේ වේගයෙන් ම වර්ධනය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව වේ. 2025 වන විට අපගේ ඉලක්කය දැනට ඇති අපනයන ආදායම දෙගුණ කරමින්, ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීමයි. ලෝක මට්ටමේ ‘කුසලතා සංචිත’ සංවර්ධනය හා පුළුල් කිරීමේ කේෂ්ත්‍රයන් තුල ආයෝජනය කිරීමෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සම්බන්ධ අපනයන දෙගුණ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.

ඒ සමගම ග්‍රාමීය ප්‍රජාවන්ට පවා අධිවේගී අන්තර්ජාල පහසුකම් වැනි යටිතල පහසුකම් ලබාදීම, තොරතුරු තාක්ෂණ උද්‍යාන 5 ක් සංවර්ධනය කිරීම සහ නව නීති රාමුවක් සකස් කර හදුන්වා දීමට සැලසුම් කර ඇත. එසේම අපි දැනටමත් අපගේ උත්සාහයන් ගේ සාර්ථකත්වය අත්දැක ඇත්තෙමු. ශ්‍රී ලංකාව සතු ගුණාත්මක කුසලතා සංචිතයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෑතකදී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද එච්.සී.එල්(HCL) වැනි ගෝලීය ප්‍රමුඛයන් මේ වන විට තම ව්‍යාපෘති ව්‍යාප්ත වීමට අවශ්‍ය සැලැසුම් සකස්කර ඇත. මෙම අංශයේ වැදගත්කම වටහා ගත් රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම් සඳහා ආයතනික බදු 0% ක් දක්වා සහන ලබාදී ඇත.

සංචාරක ව්‍යාපාරය
ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 8 ක් වටිනා ආදායමක් ඉලක්ක කර ගනිමින් 2025 වන විට සංචාරකයන් මිලියන 4 කගේ පැමිණීම අපේක්ෂා කරයි. ඔබ හිරු රැස් වලට හෝ සාගරයට හෝ වෙරළට කැමැත්තක් දක්වන්නකු වුවත්, අවුරුදු 2500 ක උරුමයක් දැකගැනීමට කැමැත්තෙන් සිටින්නකු වුවත්, ආර්යුවේද අත්දැකීමක් ලැබීමට සුදානමින් සිටින්නකු වුවත්, එසේම වනජීවීන්ට ආදරය කරන්නකු වුවත්, රසවත් ආහාර සොයන්නකු වුවත්, ඔබේ ඕනෑම අවශ්‍යතාවක් අද්විතීය ලෙස සපුරාලීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීම සඳහා වැයවන්නේ අඩු පිරිවැයකි. නව රජයේ 2021 අයවැය මඟින් බදු ව්‍යුහය සම්බන්ධයෙන් වසර 5 ක නොවෙනස් ප්‍රතිපත්තියක් හඳුන්වාදී ඇත. තරඟකාරී රටවල් විසින් පිරිනමන සමාන හෝ වඩා හොඳ දිරිගැන්වීම් සඳහා ලබා දී ඇති ආකර්ශණීය බදු සහන වලින් ඔබ්බට ගොස් ආයෝජකයින්ට අවශ්‍ය නිශ්චිත භාවය අප ලබාදී තිබේ.

ආයෝජකයින් සඳහා ආයෝජන මණ්ඩලය විසින් බදු රහිතව ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා අවස්ථාව ලබාදී ඇත. ජපානයේ ‘ජෙට්රෝ’ සමීක්ෂණයට අනුව කලාපයේ අවම පිරිවැය යටතේ විදුලි සැපයීමද ශ්‍රී ලංකාව සිදුකරයි. ශ්‍රම පිරිවැය සහ ස්ථානීය වාසි සමඟ මේ සියල්ල ඒකාබද්ධව ගත කල ශ්‍රී ලංකාව ආයෝජකයන්ට අනගි ආයෝජන තෝතැන්නක් වී ඇත.

ව්‍යාපාරික කටයුතුවල පහසුව සඳහා ශ්‍රී ලංකාව ඉහළ තලයකට ගෙන ඒමට රජය සාමූහික ප්‍රයත්නයක් දරමින් සිටී. පසුගිය වසරේ බලයට පත්වූ දා සිට, ව්‍යාපාර කටයුතුවල පහසුව වැඩි දියුණු කිරීම සඳහා රජය බොහෝ පියවර ගෙන තිබේ.

ඒ අතුරින් කිහිපයක් ලෙස නීති පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම, විශේෂයෙන් යම් කර්මාන්තයන්ට අදාල රෙගුලාසි හෝ සීමාවන් ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීමට කමිටු පත් කිරීම, රේගු ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය තීරණ ගැනීම සදහා කොමිෂන් සභාවක් පත් කිරිම, ආයෝජන සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක් පත් කිරීම සහ තවත් බොහෝ දේ සිදු කර ඇත.

2025 වන විට ශ්‍රී ලංකාව ඉහළම තලයට ගෙන ඒම සඳහා ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව සම්බන්ධ ගැටළු වඩා කාර්යක්ෂම විසඳීම වෙනුවෙන් මෙම කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු වන ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පත්කර ඇත.

ස්ථාවර හා අඩු අවදානම් සහිත ව්‍යාපාරික පරිසරයක් ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර ඇත. එහි ප්‍රගතිශීලී, ආයෝජක හිතකාමී නීති තවදුරටත් සකස් කෙරෙමින් පවතින අතර ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක අනුග්‍රහය ලබමින් ආයෝජකයින්ගේ ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද සහතික කර තිබේ.

කොළඹ වරාය නගරය (PORT CITY)
දකුණු ආසියාවේ දොරටුව හෙවත් කොළඹ ප්‍රධාන ව්‍යාපාරික දිස්ත්‍රීක්කය වන වරාය නගරය වෙනුවෙන් නව නීති සම්පාදනය කර ඇත. එමගින් සේවා අංශ සඳහා පහසුකම් සැලසීම සහ කලාපයේ බිලියන 3 කට ආසන්න පාරිභෝගිකයින්ට සේවා සැපයීම සඳහා කලාපීය මූලස්ථාන පිහිටුවීමට ව්‍යාපාර දිරිමත් කිරීම වෙනුවෙන් ඩුබායි, කටාර් සහ ලැබුවාන් හා තරග වැදීමට සමත් නීති පද්ධතියක් හා යටිතල පහසුකම් ඇති වෙමින් පවතී. ඉදිකිරීම කේෂ්ත්‍රයේ ආයෝජකයින් හට, රෝහල්, අන්තර්ජාතික පාසල්, විනෝදාස්වාදය සපයන කලාප, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, විනෝදය සඳහා යාත්‍රා සහ කුඩා බෝට්ටු සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද වරායන් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, කාර්යාල සංකීර්ණ වැනි ප්‍රධාන යටිතල පහසුකම් ගොඩනැගීමට අවස්ථාවක් සපයයි.

සාරාංශයක් ලෙස ගත කල, ශ්‍රී ලංකාව තුල ආයෝජකයින්ට අනගි අවස්ථාවන් රැසක් නිර්මාණය වෙමින් පවතී. මෙම දශකය තුළ අපගේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට අපි බලාපොරොත්තු වෙන්නෙමු. ප්‍රධාන කේෂ්ත්‍ර හයක් හඳුනාගෙන ඇති අතර අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව ක්‍රියාත්මක වෙමින් පවතී. මීට සමගාමීව ආයෝජනයේ වාසි ලබා ගැනීම සඳහා අවශ්‍ය ආයෝජන හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වේ.

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්, ශ්‍රී ලංකාව ඔබේ ඊළඟ ආයෝජන ගමනාන්තය ලෙස සලකන ලෙසත්, ඔබේ සලකුණ මෙහි තැබීමට බලාපොරොත්තු වන ලෙසත් මෙහි සවන් දෙන ඔබ සැමට ආරාධනා කර සිටිමි. ස්තූතියි…

Hits: 386