විශේෂ කාර්ය වාහන ගෙන්වීම හරහා සිදු කරන බදු වංචාවක් හෙළි වෙයි

විශේෂ කාර්ය වාහන ලෙස මෙරට වෙත ආනයනය කෙරෙන වාහන සදහා ලබා දීඇති බදු සහන අවභාවිතාවක් සිදුවන බව මුදල් අමාත්‍යාංශයේ / මහාභාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා අනාවරණය කරයි. පසුගියදා පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හමුවකදී ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.  

ඒ අනුව විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන ඉන් අනතුරුව සාමාන්‍ය වාහන ලෙස භාවිත කරන බව මේවන විට හදුනාගෙන ඇති බැවින් එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආටිගල මහතා, පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ (Freezer trucks) 947 ක් මෙරටට ආනයනය කර ඇති බව ද ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි ‍රථ ලෙස භාවිතකරන බවට තොරතුරු වාර්තා වන බවද මෙහිදී අනාවරණය කර ඇත.

ඒ අනුව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වයක් සදහා ද කාරක සභාවේ අනුමැතිය ලබා දෙන ලෙසද ලේකම්වරයා ඉල්ලීමක් සිදු කර තිබේ. එහිදී ඊට අනුමැතිය හිමිව ඇත.

මේ සමගම එම රෙගුලාසි මගින් අදාළ බදු මුදල් සංශෝධනයට පියවර‍ ගන්නා බවත් රජය පවසයි.

Visits: 161