රු. බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවට පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිව තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 21දා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබේ. මෙහිදී පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්‍ය නිලධාරීන් ඔන්ලයින් ක්‍රමවේදය අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්‍රකාශ කර ඇත්තේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත් පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමණාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්‍රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී තිබේ.

Visits: 123