විදේශ මුදලින් සංචාරකයන් හා ගනුදෙනුවලදී උපයන ආදායම් බදුවලින් නිදහස් කිරීමට අවධානය

මෙරටට පැමිණෙන සංචාරකයන් සමගින් විදේශ මුදල් හරහා සිදු කරන ගනුදෙනුවලදී උපයන ආදායම් බදුවලින් නිදහස් කිරීමට අවධානය යොමු වී ඇතැයි අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙරට මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අද (21) අරලිය ගහ මන්දිරයේදී පැවැති හමුවකදී අගමැතිවරයා මේ බව පවසා තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් මේ වන විටත් ලබා දී ඇති බවත්, අපනයනකරුවන්ගේ ඉල්ලීම මත සංචාරක අලෙවිය මත පදනම් වූ ආදායම් බදු ශ්‍රී ලංකාව තුළ විදේශීය මුදල් භාවිතයේ දී  නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශය ද සැළකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර, මෙරට මැණික් සහ ස්වර්ණාභරණ කේෂ්ත්‍රය ලොව පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු වූ බව මාධ්‍ය අංශය පවසයි..

විශේෂයෙන්ම එවකට ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 2015 දක්වා ලබා දුන්  සහන පසුගිය රජය විසින් අහෝසි කළ බවත්, අපනයනය කෙරෙහි සෘජුව බලපාන මෙම සහන යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ මෙහි දී පවසා තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපති ධම්මික නානායක්කාර, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ඉනෝකා වික්‍රමසිංහ, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ එච්.ඩී අජිත්, අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය බී.එච්.පී.කේ තිලකවීර, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය එම්.කේ. සී සේනානායක, කේ.ඒ විමලෙන්තිරජා මහත්ම මහත්මීහු සහ මැණික් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ පිරිසක් සහභාගි වී තිබේ.

Views: 118