එක්ස්පෝලංකා රුපියල් 1.17 බැගින් ලාභාංශ ගෙවීම ජූලි 22

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.17ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව පවසා සිටියි.

මෙහිදී 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ධය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස මෙය හඳුන්වා දී තිබේ.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන ජූලි 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 01 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේදීද ලාභාංශ ගෙවීමක් සිදු කර ඇති අතර, එහිදී කොටසකට රුපියල් ශත 50ක් බැගින් ලබා දීම සිදු කර තිබේ. එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙසද සඳහන් කර තිබුණි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 50.60ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය සිකුරාදා සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 51.70ට සාපේක්ෂව රුපියල් 1.10ක එනම් -2.13%ක අඩුවීමකි.

Visits: 347