අනිල් තිත්තවැල්ල සහ ලලිත් විතාන ලාෆ්ස් ගෑස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ලෙස අනිල් තිත්තවැල්ල සහ ලලිත් විතාන යන මහත්වරුන් පත් කර ඇතැයි එම සමාගම පවසයි. එසේම සමාගමේ උප කමිටු කිහිපයකම සාමාජිකයන් ලෙසද ඔවුන් දෙදෙනා පත් කර තිබේ.

2021 ජූනි 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම් සිදුව ඇතැයි ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සඳහන් කරයි. මෙම පත්වීම ලබන අවස්ථාව වන විට අනිල් තිත්තවැල්ල සහ ලලිත් විතාන යන මහත්වරුන් සතුව සමාගමේ කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

මෙහිදී අනිල් තිත්තවැල්ල මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇති අතර, සමාගමේ නාමයෝජනා සහ පාරිතෝෂික කමිටුවේ සාමාජිකයෙකු, විගණන කමාටුවේ සහ සබැඳි පාර්ශ්ව පාරිතෝෂික කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කෙරී ඇත.

එසේම ලලිත් විතාන මහතා ස්වාධීන විධායක – නොවන අධ්‍යක්ෂවරයෙකු  ලෙස පත්කෙරී ඇති අතර, විගණන කමිටු සහ සබැඳි පාර්ශ්ව පාරිතෝෂික කමිටුවේ සහ නාමයෝජනා සහ පාරිතෝෂික කමිටුවේ සාමාජිකයෙකු ලෙසද පත් කර ඇත.

දෙදෙනා අතරින් අනිල් තිත්තවැල්ල මහතා අද වනවිට ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහු ලංකා දුම්කොළ සමාගමේ ස්වාධීන තෝරාපත් කර නොගත් අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

වෘත්තියෙන් සිවිල් නීතිය, වාණිජ සහ සාංගමික නීතිය පිළිබඳ නීතීඥයෙකු වන තිත්තවැල්ල මහතා මීට පෙර ලංකා වානිජ මණ්ඩලයෙහි සමාගම් ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයෙකුව (1993) සිට ඇත. එසේම 1994-1997 කාලසීමාවේදී පිහිටවුණු නව බේරුම් පනත සඳහා උපදෙස් ලබා දුන් ශ්‍රී ලංකා ස්වීඩන ඒකාබද්ධ නීති කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. මීට අමතරව ඒ මහතා 1994 සිට 1997 දක්වා ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි නීති උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත.

මේ අතර තිත්තවැල්ල මහතා 2000 සිට 2002 වසර දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. 2001-2002 වසරේ ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේද සාමාජිකයෙකුව සිට තිබේ.

ලලිත් විතාන මහතා සතුව සාංගමික අංශය තුළ වසර 25කට අධික කළමනාකරණ ධුරයන්හි අත්දැකීම් සහිත අතර, බැංකු, නිෂ්පාදන සහ අලෙවි යන සමාගම් තුළ ඔහු ජ්‍යෙෂ්ට කළමනාකරණ ධුර දරා තිබේ.

ඒ මහතා මෑතක් වන තුරුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. අද වනවිට ඒ මහතා Agility Consulting services (පෞද්) සමාගමේ නිර්මාතෘවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

මීට පෙර විතාන මහතා ලංකා බැංකුව, දංකොටුව පෝර්සිලේන් පීඑල්සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, සීලීස් ලිමිටඩ් සහ සෙලාන් බැංකුව යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩලවල ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. එසේම කලක් විතාන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂමේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කර ඇත.

Views: 283