රොනාල්ඩෝගේ ක්‍රියාවෙන් පසුව කොකාකෝලා වෙත ඩො. බිලියන 4ක් අහිමිවෙලා?

ලොව සුප්‍රසිද්ධ පාපන්දු තරුවක් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය සඳුදා දිනයේදී සහභාගි වුණු පුවත්පත් සාකච්ඡාවකදී තමා ඉදිරියේ තිබූ කොකාකෝලා බෝතල් දෙකක් ඉවත් කිරීමේ සිදු වීමෙන් අනතුරුව කොකාකෝලා සමාගමට සිය වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක අලාභයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම අවස්ථාවේදී රොනාල්ඩෝ කොකාකෝලා බෝතල් දෙක ඉවත් කරමින් ඒ වෙනුවට ජල බෝතලක් එම ස්ථානයේ තබමින්, කොකාකෝලා නොව, ජලය පානය කරන්නැයි මාධ්‍ය ඉදිරියේ පවසා තිබුණි. මෙම අවස්ථාව සජීවීව මෙන්ම පසුව සමාජ මාධ්‍ය හරහාද දැඩි ලෙස ප්‍රසිද්ධියට පත් විය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම සිදු වීම හට ගත් පසුගිය සඳුදා (14දා) එක්සත් ජනපද ඩොලර් බිලියන 242ක් වූ කොකාකෝලා සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය එම සිදුවීමෙන් අනතුරුව ඊයේ (15දා_ ඩොලර් බිලියන 238ක් දක්වා ඩොලර් බිලියන 4කින් එනම් 1.6%කින් පහත වැටී තිබේ.

මේ දිනවල පැවැත්වෙන Euro 2020 පාපන්දු තරගාවලියේ පෘතුගාලය සහ හංගේරියාව අතර තරගයට පෙරාතුව මෙම මාධ්‍ය හමුව පැවැත් වුණු අතර, ඉන් පසුව පැවැති තරගයේදී රොනාල්ඩෝ ගෝල දෙකක් වාර්තා කිරීමටද සමත්විය.

Visits: 305