නව තාක්ෂණික උද්‍යාන (Technology Parks) බිහිකිරීම ඇරඹෙයි

මෙරට ඉඳිවන  ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් ව්‍යාවසාය සහ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) දින ගාල්ලේදී සිදු වූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා පිහිටුවෙන තාක්ෂණික උද්‍යාන 05න් පළමු වැන්න මෙය වෙයි. ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව මෙම කටයුතු සිදු වන බව පැවසෙයි.

අපේ රටේ තරුණයාගේ අනාගතය නූතනත්වය සමගින් තාක්ෂණික හා ඩිජිටල් ලෝකය වෙත විවර කර ඒ තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම  මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණ වෙයි. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට  බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයද මෙය බවට පත්ව තිබේ.

එහි භූමිය සකස් කිරිමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර ගොඩනැගිලි ඉඳිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, “තාක්ෂණ උද්‍යාන 05ක් අපේ රටේ ස්ථාපිත කරනවා. ඒ තුළ ඉදිරියට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර රැකියා උත්පාදනය මගින් විදේශ විනිමය ලංකාවට ගෙන ඒමේ සැලැස්ම අපි හදලා තිබෙනවා. අපි නිරන්තරයෙන්  කතා කරන්නේ අප ලෝකයා සමග ගනුදෙනු කළ යුතු බවයි. ඊළග පරම්පරාවට සරිලන ආකාරයේ සංවර්ධනයක් අපේ රටේ ඇති කළ යුතුයි.”

මෙ අතර ඉදිරි මාස කිහිපය ඇතුළත කුරුණෑගල, මහනුවර සහ උතුරු නැගෙනහිරත් මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්‍ත අමාත්‍ය රමේෂ් පතිරණ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී තිබේ.

Views: 106