සීනි බදු සහනයෙන් ලාභ ඉපැයූ සමාගම් මාස තුනක් අඩු මිලට සීනී දීමට එකඟ වෙයි

රජය මගින් ලබා දුන් සීනි බදු සහනය අවභාවිතා කරමින් රුපියල් බිලියන ගණනක ලාභ ඉපැයීමට සමත් වූ බවට රට තුළ මහත් ආන්දෝලනයට ලක් වුණු පෞද්ගලික සීනි ආනයන සමාගම් ඊට හිලව් ලෙස ඉදිරි මාස තුනක කාලයක් සඳහා අඩු මිලට රජය වෙත සීනි ලබා දීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි.

වෙළෙඳ අමාත්‍යාංශය මගින් අදාළ සමාගම් වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, රජයට අයත් ලක් සතොස අලෙවි සැල් හරහා මෙලෙස අඩු මිලට අලෙවි කිරීම සඳහා එම සමාගම් ආනයනය කළ සීනි ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන බව ඊයේ පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව වාර්තාවක් ගෙන එමින් පවසයි.

පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමු වී සිදු කළ සාකච්ඡාවකදී අදාළ ආනයනය සමාගම් මේ පිළිබඳව එකඟතාව පළ කර ඇත. ඒ අනුව ලක් සතොස හරහා ඉදිරි මාස තුනක කාලයකට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 98ක මුදලකට අලෙවි කිරීමට ලබා දිය හැකි බව එම සමාගම් පවසා ඇතැයි සඳහන් වෙයි.

මෙහිදි සුදු සීනි මෙට්‍රික් ටොන් 4,00ක ප්‍රමාණයක් ලක් සතොස හරහා බෙදා හැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අමාත්‍යාංශය විමසා ඇත. විශේෂයෙන්ම අද වනවිට දේශීය වෙළෙඳ පොළ තුළ සීනි ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර, සීනි කිලෝවක් රුපියල් 116ක මිලකට අලෙවි කෙරේ.

එහිදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය හමුවේ සිය සමාකම් වෙත මූල්‍යමය වශයෙන් පාඩු සිදු වුවත්, එම මිලට සීලි ලබා දීමට සමාගම් කැමැත්ත පළ කර ඇති අතර, එහිදී දින හතක් ඇතුළතදී ඊට අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් රජය සමග කොන්දේසියකටද පිවිස ඇතැයි පුවත්පත වැඩිදුරටත් පවසයි.

සීනි කිලෝවක් ආනයනයේදී රජය විසින් අය කරමින් තිබූ රුපියල් 50ක බද්ද, ශත 25ක් දක්වා අඩු කරමින් රජය මෙම බදු සහනය ලබා දීම සිදු කෙරිණි. එහෙත් එම සහනය අවභාවිතා කරමින් බොහෝ සීනි ආනයනකරුවන් දැවැන්ත ලෙස සීනි ආනයනය කිරීමක් සිදු කර ඇති අතර, ඒ හරහා රජයට රුපියල් බිලියන 15ක බදු ආදායමක්ද අහිමි වී තිබේ.

පසුගිය මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හරහා මෙම බදු වංචාව පිළිබඳව අනාවරණය කෙරුණු අතර, එහිදී අදාළ සීනි ආනයන සමාගම් මගින් රුපියල් බිලියන 15.9ක ලාභයක් උපයා ඇතැයි අනාවරණය කෙරිණි.

Visits: 302