සිලෝන් ටී සඳහා සාධාරණ එකඟතාවයකට පැමිණෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලයි

තේ කර්මාන්තයේ තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා පරිපූර්ණ හා ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලබා දෙන අතරතුර පිරිසිදු සිලෝන් ටී නිෂ්පාදකයින් සඳහා සාධාරණ එකඟතාවකට පැමිණෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සියලූම ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගියදාට යෙදුණු ජාත්‍යන්තර තේ දිනය සැමරීම වෙනුවෙන් එම සංගමය මෙම ඉල්ලීම සිදු කර තිබේ. ‘‘තේ සහ සාධාරණ වෙළෙඳාම’’ යන්න මේ වසරේ ජාත්‍යන්තර තේ දිනයේ තේමාවයි.

ඒ අනුව යමින් සියලූම කලාපීය වැවිලි සමාගම් (RPCs) මෙන්ම රජය සතු සමාගම්, කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය සහ කර්මාන්තශාලා හිමිකරුවන්, වෙළෙන්දන්, අපනයනකරුවන් ඇතුළු සියලූම පාර්ශවයන්ගෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ මෙම ක්ෂේත‍්‍රයේ අනාගත අභිවෘද්ධිය සඳහා සැපයුම් දාමය පුරා වැඩිදියුණු කිරීම් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

දේශීය හා ගෝලීය වශයෙන් වාණිජ කෘෂි ව්‍යාපාරයේ නියැලෙන අනෙකුත් සියලූ අංශ මෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය 2021 දී දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටී. ඒ අනුව ඉදිරියේදී තේ කර්මාන්තයේ සෑම අංශයක්ම නැවත තක්සේරුවට ලක් කළ යුතුව ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් වන අතර ඒ සඳහා අවශ්‍ය හා ප‍්‍රායෝගික නව අදහස් හා උපායමාර්ග විද්‍යාත්මක ක‍්‍රමයකට අනුකූලව කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.

මෙමගින් අස්වැන්න හා පස කළමනාකරණයේ සිට දේශගුණික විපර්යාස, මෙයට අදාල සමාජ-ආර්ථික ආකෘතීන්, ක‍්‍රියාත්මක වීම දක්වා, තත්ව පාලනය, අගය එකතු කිරීම සහ අපනයන විවිධාංගීකරණය මෙන්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා නැගී එන තාක්ෂණය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ආදිය දක්වා ආවරණය කෙරේ.

මෙම සෑම අංශයක් සඳහාම ජාත්‍යන්තර සම්මතයන් පිහිටු වීමට ශ්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් සමත්ව තිබෙන අතර ඒවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව සොයා බැලීම් සිදු කරනු ලබයි.

කෙසේවෙතත් තීරණාත්මක වශයෙන් සැලකීමේදී කලාපීය වැවිලි සමාගම් සමස්ත තේ නිෂ්පාදනය සඳහා 30%ක් පමණක් නියෝජනය කරනු ලබන අතර බහුතරය සඳහා දායකත්වය දෙනු ලබන්නේ කුඩා තේ වතු හිමියන්ගේ අංශයයි. යම් යම් වැදගත් ක‍්‍රියාමාර්ග ගැනීමේදී එය හුදෙක් කලාපීය වැවිලි සමාගම් ඉලක්ක කරගනිමින් පමණක් නොව සමස්ත කර්මාන්තයටම සුදුසු වන පරිදි එම ක‍්‍රියාමාර්ග ගත යුතුය. ඒ සියල්ලට වඩා ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම නව ආකෘති ආර්ථික සංවර්ධනය උදෙසා යෝග්‍ය විය යුතු අතර පසුව ඒවා තවදුරටත් වැඩිදියුණු කළ හැකි දැයි සොයා බැලීමට සාධාරණ කාල සීමාවක් තුළ නියමු ව්‍යාපෘති සමඟ නිරන්තරයෙන් තක්සේරු කළ යුතුය.

ග‍්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම සඳහා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය කුඩා තේ වතුහිමියන් පන් ලක්ෂයකින් හා එක් ලක්ෂ විසිපන්දහසක ශක්තිමත් RPC ශ‍්‍රම බලකායකින් සමන්විත වෙයි. ඔවුන්ගෙන් බොහොමයක් ස්ථාවර දෛනික වැටුපකට වතු සමාගම් වෙනුවෙන්ද ඵලදායීතාව හා බැඳුණු වැටුපක් සඳහා කුඩා තේ වතුහිමියන් යටතේ ද වැඩ කරනු ලබයි. ශ්‍රී ලංකාවේ දැනට ආසන්න වශයෙන් තේ කර්මාන්තශාලා 600ක් පමණ තිබෙන අතර ඉන් ආසන්න වශයෙන් මිලියන තුනක ශ්‍රී ලාංකිකයින්ට ඍජු හා වක‍්‍ර රැකියා අවස්ථා නිර්මාණ කරනු ලබයි.

පසුගිය වසර තුළ තේ කර්මාන්තය 2019 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3ට සාපේක්ෂව අප රටට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක විදේශ විනිමය ආදායමක් උපයා දීමට සමත් වී ඇත. 2021 මාර්තු අවසන් වන විට 2020 වසරට සාපේක්ෂව නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් මිලියන 20ක ඉහල අගයක් ගනු ලැබූ අතර යහපත් කාලගුණය, නියමිත වේලාවට පොහොර ලැබීම හා යෙදවීම ආදිය මීට හේතු විය. පසුගිය අවුරුද්ද පුරා පෙර නොවූ විරූ බාධා හා අභියෝගවලට මුහුණ දෙමින් මෙවැනි ස්ථාවර කාර්යසාධනයක් අත්කර ගැනීම සැබවින්ම විශේෂත්වයකි.

ඵලදායීතාව අඩු වීමත් සමඟම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ශ්‍රී ලංකාවේ සියලූම තේ නිෂ්පාදකයින් මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස පෙන්වා දිය හැකිය. කොවිඞ්-19 වසංගතය අතරතුර මෙහෙයුම් හා ප‍්‍රවාහන ධාරිතාවය සඳහා පනවා තිබූ සැලකිය යුතු සීමාවන් හේතුවෙන් මෙම අභියෝග වඩාත් දරුණු විය.

Views: 98