කලකට පසුව ජනශක්ති ඉන්ෂුවරන්ස් රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සි (JINS.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙම ලාභාංශ ගෙවීම 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 28 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූලි 06 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති අතර, ඊට අදාළ වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 05 වැනිදා පැවැත්වීමට නියමිත බවත් සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අතරතුරදී ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී කොටසක වටිනාකම ඉහළ යාමක් දැකගත හැකි වූ අතර, පසුවරු 2.00 වන විට එය රුපියල් 28.80ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී සමාගමේ කොටසක් සඳහා පැවැති රුපියල් 26.60ට සාපේක්ෂව රුපියල් 2.20ක එනම් 8.27%ක ඉහළ යාමකි.

ජනශක්ති ඉන්ෂූවරන්ස් සමාගම 2017 වසරේ මාර්තු මාසයේදී සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලාභාංශ ගෙවීමක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.

2016 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කෙරුණු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබූ එහිදී සෑම ඡන්ද හිමි කොටසකටම රුපියලක් බැගින් ලබා දීම සිදු වී තිබේ.

Visits: 177