HNB FINANCE ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 50 අතරට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD සඟරාව සහ Brand Finance ආයතනය මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන 18 වැනි LMD Brands Annual ප‍්‍රකාශයනයට ඇතුළත් වීමට සමත් වූ බව පවසයි.

Brand Finance ආයතනය ලොවපුරා පාරිභෝගික සන්නාම තක්සේරුකරණයෙහි සහ උපායමාර්ගික ප‍්‍රවේශයන් ලබාදෙන ප‍්‍රමුඛපෙළේ ආයතනයක් වේ. වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන මෙම ලැයිස්තුව සඳහා කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සන්නාම අතර වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් තෝරා ගැනීම සඳහා ස්වාධීන විගණනයක් සහ මෙම සන්නාමයන්ට අදාළ පාරිභෝගික හැසිරීම, මූල්‍ය කාර්යසාධනය, සහ ලබාගතහැකි සෑම මූල්‍ය තොරතුරක්ම සම්බන්ධයෙන්  සිදුකරන සමීක්ෂණයක් ඇසුරින් වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුගත කිරීම Brand Finance විසින් සිදුකරයි.

මෙහිදී ප‍්‍රධාන නිර්ණායකයන් වන එක් එක් සන්නාමයට අදාළව ඔවුන්ගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරයන්ගේ තිරසාර බව සහ ආර්ථික ඉදිරි දැක්ම , ලබා ගෙන ඇති සම්මාන සහ ඇගයීම් යන සාධක මෙහිදී  සලකා බැලේ

පසුගියදා ප‍්‍රකාශයට පත් වූ LMD Brands Annual ප‍්‍රකාශයනයෙහි සඳහන් වටිනාම පාරිභෝගික සන්නාම අතරට මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් HNB FINANCE PLC මෙම ලැයිස්තුවට එක් වූ පළමු අවස්ථාව මෙය විය. HNB FINANCE සන්නාමයෙහි වටිනාකම රුපියල් මිලියන 1819ක් ලෙස තක්සේරුකරණය වූ අතර සමාගම වර්තමානයේදී AA-. ණය ශ්‍රේණිය හිමිකර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ‘‘LMD Brand Finance වටිනාම පාරිභෝගික සන්නාම අතරට පළමු වරට එක් වීමට ලැබීම HNB FINANCE ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි අතර වඩාත් අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයක් තුළ මෙම අභියෝගය සපුරා ගැනීමට හැකි වීම මෙහි වැදගත්කම තවත් වැඩි කරන බව මගේ අදහසයි.’’ යනුවෙන් පැවසීය. 

Views: 335