SLT-MOBITEL 2021/22 ජාතික ව්‍යාපාර නාමාවලිය නව පෙනුමකින්

SLT-MOBITELජාතික ව්‍යාපාර නාමාවලියේ (Rainbow Pages) නවතම සංස්කරණය පසුගියදා නව පෙනුමක් සමඟ, ඩිජිටල් හා මුද්‍රිත ක්‍රම වලින් නිකුත් කිරීමට තීරණය වී තිබේ.

නව සංස්කරණය තුළ ඉතා ප්‍රයෝජනවත් ඩිජිටල් මෙවලම් රැසක් අඩංගු වන අතර, ඊට අමතරව කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින ව්‍යාපාරික ප්‍රජාවට අත්වැලක් සපයන විශේෂාංග රැසක්ද ඊට ඇතුළත් වී ඇතැයි පැවසෙයි.

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය මෙරට ඇති එකම ව්‍යාපාර නාමාවලිය වීම ද විශේෂත්වයකි. එමෙන්ම එය පරිශීලකයන්ට හා ව්‍යාපාර වලට, පිළිගත් දේශීය හා විදේශීය නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් අතර සබඳතා ගොඩනංවන වඩාත්ම විශ්වාසනීය ව්‍යාපාරික නාමාවලිය ලෙසද ඇගයීමට ලක්වී ඇත.

“ජාතික ව්‍යාපාර නාමාවලිය යනු සමාගම් හා ආයතන වලට අලෙවිකරණය සඳහා යොදාගත හැකි සුවිශේෂී මෙවලමක්. සන්නිවේදනය කළ යුතු පණිවිඩය දිවයින පුරා වැඩි පිරිසක් අතරට රැගෙන යාමටයොදාගත හැකි තවත් අතිරේක ක්‍රමවේදයන් ගණනාවක් එය සතුයි. ඩිජිටල් ව්‍යාපාර නාමාවලි හරහා ඉතාමත් පහසුවෙන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් එකිනෙකා සම්බන්ධ කළ හැකි බව, අද දවසේ මහාපරිමාණ සමාගම් වලට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටත් අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. වෙබ් අඩවිය, අන්තර්ජාල දැන්වීම්, Search Engine Optimization ක්‍රමවේදය, ඩිජිටල් අලෙවිකරණ ක්‍රම, ඊමේල්, පණිවිඩ ක්‍රම වැනි විවිධ ක්‍රම රාශියක් භාවිතයට ගත හැකි නිසා SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය හරහා තමන්ට අවශ්‍ය පාරිභෝගික පිරිසට ආමන්ත්‍රණය කිරීමට ව්‍යාපාරවලට හැකියාව ලැබෙන බව සහතිකයි. ඒ නිසා මෙම බහු-නාලිකා විසඳුම භාවිතා කරමින් වඩාත් පුළුල් පාරිභෝගික ප්‍රජාවක් වෙත තම නිෂ්පාදන හා සේවාවන් සමීප කරවන මෙන් අප සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටිනවා.” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT Digital Info Services (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

වැඩිදියුණු කළ rainbowpages.lk ඩිජිටල් නාමාවලිය ව්‍යාපාරිකයන්ට තම දැන්වීම් පළකිරීම සඳහා ආකර්ෂණීය අවස්ථා රාශියක් ලබාදෙන අතර, එහි ‘true local search’ විශේෂාංගය වැඩි විශේෂත්වයක් උසුළයි. මෙමගින් දිනකට rainbowpages.lk වෙත පිවිසෙන ගැනුම්කරුවන් හා වෙනත් පරිශීලකයන් 10,000 කට ආසන්න සංඛ්‍යාවකගේ අවධානය දිනාගැනීමට අවස්ථාවක් ලැබේ.

මුද්‍රිත පිටපත් ලෙස මෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ වන ඩිජිටල් නාමාවලියක් ලෙසදSLT-MOBITELජාතික ව්‍යාපාර නාමාවලිය ලබාගත හැක. නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, සේවා සපයන්නන් සහ මහා පරිමාණ ගැනුම්කරුවන් ඇතුළු, එකිනෙකට වෙනස් කාණ්ඩ වලට අයත් විශාල පිරිසකට මෙහිදී එකිනෙකා සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇත.

නව විශේෂාංග ඇතුළත් කර ඇති, අවශ්‍ය දේ වඩාත් පහසුවෙන් සොයාගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබෙන, දිනපතා යාවත්කාලීන කරනු ලබන මෙම සජීවී නාමාවලියෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන් SLT-MOBITEL සමාගම, මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටියි. මෙහි මුද්‍රිත පිටපත්ද නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ජංගම දුරකථන ඔස්සේද පහසුවෙන් භාවිතා කළ හැකි rainbowpages.lk වෙබ් අඩවිය, ජංගම දුරකථන යෙදුමක් (App), CD තැටියක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය (ස්ථාවර දුරකථන: 1212, ජංගම දුරකථන: 444) වැනි ක්‍රම කිහිපයක් ඔස්සේ මෙම නාමාවලිය භාවිතා කළ හැකි වේ. ජනතාවගේ මෙන්ම සමාගම් හා ආයතන වල වෙනස්වන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මේ ආකාරයට එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්‍ර රාශියක් නියෝජනය කරන පෞද්ගලික හා රාජ්‍ය සමාගම් හා ආයතන 6,000 කට වැඩි සංඛ්‍යාවක් විසින් පළකරන ලද හා තහවුරු කරන ලද ලුහුඬු හා ලුහුඬු නොවන දැන්වීම් 170,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් මෙරට එකම ව්‍යාපාරික නාමාවලිය, SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියයි.

Visits: 70