“ලිට්‍රෝ සමාගම ලාෆ්ස් සමාගමේ 40%ක් මිලදී ගන්නේ යහලුවන් බේරාගන්නද?” – වසන්ත සමරසිංහ

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ලාෆ්ස් ගෑස් සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පිටුපස අර්බුදයට පත්ව සිටින යහලුවන් බේරාගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

රට ලොක්ඩවුන් තත්ත්වයට පත් කර තිබියදී රජය මහජන දේපළ සහ මුදල් කොල්ලකෑම සඳහා ගෙනයන වර්තමාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගම සතුව මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 70%ක හිමිකමක් පවතින බවත්, ලාෆ්ස් සතුව ඇත්තේ 30%ක් පමණක් බවත් ඔහු පවසයි. එවැනි පසුබිමකදී මෙම කැබිනට් පත්‍රිකාව මගින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා රක්ෂණ භාර අරමුදල යොදා ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ කොටස් 40%ක් මිලදීගැනීමට යෝජනා ඉදිරිපත් කර තිබෙන බව ඔහු සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමරසිංහ මහතා, “ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයයි බන්ධුල ගුණවර්ධන මහත්තයයි ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් දානවා ලාෆ්ස් සමාගමේ 40%ක් මිලදී ගැනීම සම්බන්ධයෙන්. හැබැයි මේ ඒකාබද්ධතාව පිටුපස්සේම තිබෙනවා ගනුදෙනුව බෙදා ගැනීමේ අවස්ථාවකුත්. මොකද අද වෙන කොට ලාෆ්ස් ගෑස් සමාගම පාඩු ලබමින් තිබෙන සමාගමක්. 2020 ඔක්තෝබර් මාසය වන විටත් ඒ සමාගමේ තිබුණේ රුපියල් මිලියන 1,600 කටත් වඩා වැඩි පාඩුවක්. ආයතනයේම වත්කම් ගත්තහම තියෙන්නේ රුපියල් මිලියන 39,000 යි. ඒ ආයතනයේ වගකීම් තියෙනවා රුපියල් 38,000 ක.”

ඒ අනුව දැනට සමාගම සතු ණය පියවීමෙන් අනතුරුව සමාගමට ඉතිරිවන දෙයක් නොමැති බවත්, එවැනි පාඩු ලබන ආයතනයක් අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දෙකක් සඳහා මෙලෙස රජය මගින් මිලදී ගැනීමට යොමුව සිටින බවත් ඔහු මෙහිදී චෝදනා කර සිටියි.

 “ලාෆ්ස් සමාගම ගිය අවුරුද්දෙත් පාඩුයි. ඊට කලින් අවුරුද්දෙත් පාඩුයි. රක්ෂණ අරමුදල හරහා මේවා ගන්නේ ලාභ ලබන්නද. අද වෙන කොට ලාෆ්ස් සමාගම ලංකා බැංකුවට තියෙනවා මිලියන 12,000ක ණයක්. මහජන බැංකුවට තියෙනවා මිලියන 10,100ක ණයක්. මේ දෙකම ගත්තහම රටේ බැංකු දෙකටම මිලියන 22,000ක් ණයයි. මේ වගේ ණයක් තියෙන ලාෆ්ස් ගෑස් සමාගමේ 40%ක් අරගෙන, යාලුවන් බේරා ගැනීමේ රාජපක්ෂ මහතාගේ සැලසුමක් තමයි මේ යන්නේ. හිතවතුන්ගේ අර්බුද පියවන්න රටේ සල්ලි යොදවන්න යන්නේ.” සමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

මීට පෙරද ලාෆ්ස් ගෑස් සමාගම සේවක අර්ථසාධක අරමුදලට සිය කොටස් 10%ක් අලෙවි කර ජාවාරමක් සිදු කළ බවත්, ඊට අදාළව තමන් දැමූ නඩුව තවමත් ක්‍රියාත්මක වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ අතර පසුගිය සඳුදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ලාෆ්ස් ගෑස් සමාගමේ කොටස් වටිනාකම් 25%ක ප්‍රතිශතයකින් ඉහළ ගිය බවත් එය අසාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.

“සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳ පොළේ කොටසක වටිනාකම් 25%කට වඩා ඉහළට යන්න දෙන්නේ නෑ. ඒත් ඊයේ දිනයේදී ලාෆ්ස් සමාගමේ ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් යන දෙකම 25%කට වඩා වැඩියෙන් ඉහළ ගියා. මොකටද මේ. සමාගමේ වත්කම් වැඩිකරලා පෙන්වන්න. එතකොට මේ රජය මිලදී ගන්න කොටස් 40% මිලියන 20,000කට විතර අලෙවි කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එතැනදී 3%ක නෙමේ 5%ක කොමිෂන් එකක් ගන්න බලාගෙන ඉන්නේ. එතකොට රුපියල් මිලියන 1000ක විතර කොමිස් මුදලක් ගන්න බලාගෙන තමයි මේ ඒකාබද්ධ කිරීම සිදු කරන්න යන්නේ.”  සමරසිංහ මහතා මෙම මාධ්‍ය පවසා සිටියේය.

මේ අතර මෙම ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමේදී එහි පිටුපස සිටින පුද්ගලයන්ද දැන් අනාවරණය වෙමින් පවතින බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ ගනුදෙනුව ගැන සොයා බලාගෙන යන කොට හමුවෙනවා සමීප සබඳතා තියෙන පුද්ගලයෙක්. ඒ තමයි රක්ෂණ සංස්ථාවේ සහ ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක කුඩාබාලගේ මහත්තයා දැන් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්.” ඒ මහතා පවසා සිටියේය.

Views: 419