ධම්මික පෙරේරා රෝයල් සෙරමික් හරහා බිස්කට් සහ චොකලට් නිෂ්පාදනයට අතගසයි

මෙරට අංක එකේ බිලියනපතියෙකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තමන් යටතේ පවතින රෝයල් සෙරමික් ලංකා සමාගම හරහා බිස්කට් සහ චොකලට් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එහිදී පිහිටුවෙන සමාගම බිස්කට් ඇන්ඩ් චොකලට් කම්පැනි ලිමිටඩ් ලෙස නම් කෙරෙනු ඇති බවත් මේ පිළිබඳව වාර්තාවක් රැගෙන එන ඩේලිමිරර් පුවත්පත පවසයි.

ඒ අනුව රෝයල් සෙරමික් ලංකා පීඑල්සී වෙත පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන, දැනට මෙහෙයුම් නවත්වා ඇති රෝයල් සෙරමික්ස් ලිමිටඩ් සමාගම සහ එහි වත්කම් මේ සඳහා යොදා ගැනීමට ඔහු ඇතුළු රෝයල් සෙරමික් ලංකා පීඑල්සී සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අදහස් කරගෙන සිටින බවද පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වෙයි..

මේ සම්බන්ධයෙන් පුවත්පත වෙත කරුණු දක්වා ඇති රෝයල් සෙරමික් ලංකා පීඑල්සීහි ඉහළ මට්ටමේ නිලධාරියෙකු, සිය සමූහය මේ සම්බන්ධයෙන් ශක්තිමත් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බවත්, තවමත් එය අධ්‍යයනය කිරීමේ අදියරේ පවතින බවත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම සතු ඉහත සඳහන් කළ රෝයල් සෙරමික්ස් ලිමිටඩ් සමාගමේ නම දැනටමත් බිස්කට්ස් ඇන්ඩ් චොකලට් කම්පැනි ලිමිටඩ් ලෙස වෙනස් කර ඇතැයිද, එය මෙම ඉදිරි ව්‍යපාරික මෙහෙයුමේ පළමු පියවර බවද පුවත්පත පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනට රෝයල් සෙරමික් ලංකා පීඑල්සී සතුව හෝමාගම පිහිටි කිරිවත්තුඩුව වත්ත නම් අක්කර 33ක භූමියක් යොදා ගැනීම සැලසුම වී ඇත. 2019 වසරේදී එම සමාගම මගින් මෙම ඉඩම අත්පත් කරගෙන තිබේ. එම අවස්ථාවේදී මෙම ඉඩම් වටිනාකම රුපියල් මිලියන 400ක් ලෙස සටහන්ව තිබූ බවත් පැවසෙයි.

පුවත්පත පවසන ආකාරයට බිස්කට් ඇන්ඩ් චොකලට් කම්පැනි ලිමිටඩ් සමාගම මගින් මෙම භූමිය තුළ චොකලට් සහ බිස්කට් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට සැලසුම් කර ඇත. එසේම දේශීය සහ අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් කොකෝවා වගාවක් සඳහාද සමාගම අදහස් කර ගෙන සිටියි.

මීට අමතරව ඉදිරියේදී ලෝකයේ මුල් පෙළේ වෙළෙඳනාම සමගින් හවුල්කාරීත්වයන් වෙත එළැඹීම සම්බන්ධයෙන්ද බිස්කට් ඇන්ඩ් චොකලට් කම්පැනි ලිමිටඩ් අදහස් කරගෙ සිටින බවත් පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 2028