වසරේ මුල් මාස පහට විදේශ ආයෝජන පිටතට ගලායෑම් රු. බිලියන 25 ඉක්මවයි

අද (මැයි 31) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් ඉහළ ගැණුම්කාරීබවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ සමාගම් තුළ පෙන්නුම් කළ ආකර්ෂණය මෙන්ම ලාභ ඉපැයීම් මෙන්ම ලාභාංශ ගෙවීම් පිළිබඳ නිවේදන යනාදියද මෙම ගැණුම්බරතාව සඳහා හේතු වූ බව එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,366.09ත් ඒකක 7,414.34ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,403.44ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (මැයි 28දා) දිනයට සාපේක්ෂව ඒකක 70.02ක් එනම් +0.95%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 8.4%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 110ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 62ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+12.65), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.47), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+5.93), වැලිබල් වන් පීඑල්සී VONE (+5.42), ලංකා වෝල්ටයිල් පීඑල්සී LWL (+4.21), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කම්පැනි පීඑල්සී BIL (-3.26), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-3.1), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-1.49), හේකාර්බ් පීඑල්සී HAYC (-1.21), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.19) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,978.71ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (28දා) ‍ට සාපේක්ෂව ඒකක 23.10 ක එනම් +0.78%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.34ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (28දා) වාර්තා කළ රුපියල් බිලියන 2.89ට සාපේක්ෂව 16% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.26ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.36%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 72.83ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 425.58ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 352.76කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 25.30ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 32.28 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 313.22ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,491ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 45% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 615ක සහ රුපියල් මිලියන 408ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 282