ඇම්බියොන් කැපිටල් පීඑල්සී ඇම්බියොන් හෝල්ඩිංග්ස් වෙතින් රු. බිලියනයක ණයක් ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම (TAP.N) සිය සබැඳි පාර්ශ්ව සමාගමක් වන ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙන් (GREG.N) රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගෙන ඇතැයි පවසයි.

පසුගිය මැයි 24 වැනිදා මෙම ණය මුදල ලබා ගැනීමට අදාළ එකඟතාවට පැමිණීම සිදු වී තිබේ. ඒ අනුව මෙය සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙස සටහන්ව ඇත.

අද වනවිට ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 81.43%ක කොටස් ප්‍රතිශතයක් හිමිව ඇත්තේද ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම වෙතයි.

6%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ කෙටි කාලීන ණයක් ලෙස ලබා ගෙන ඇති මෙම ණය මුදල වසරක කාලයකින් පියවීම සිදු කරන බවත් ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම පවසයි.

සිය සමාගම සතුව පවතින බාහිර ණය ගැනීම් අඩු කිරීම සඳහා මෙන්ම දැනට පවතින අරමුදල් වඩාත් හොදින් උපයෝගි කරගැනීම යන කාරණා සම්බන්ධව සිදු කරන උපායමාර්ගික මුලපිරීමක් ලෙස මෙම ණය මුදල ලබා ගත් බවද සමාගම සඳහන් කරයි.

සමාගම පවසන ආකාරයට මෙම ගනුදෙනුව 2020 මාර්තු 31 වැනිදා වනවිට විගණනය කර තිබූ සමාගමේ සමස්ත වත්කම් අතරින් 5%ක ප්‍රතිශතයක් ඉක්මවන අවස්ථවක් ලෙස සටහන්ව ඇත.

එසේම මෙම සබැඳි පාර්ශ්ව අතර සිදුවූ ගනුදෙනුව සාමාන්‍ය වානිජ නියමයන් අනුව සිදු වූ බවත්, ඒ හේතුවෙන් සමාගමේ කොටස් වෙත හෝ එහි සුළුතර කොටස් හිමිකරුවන් වෙත හෝ ඉන් බලපෑමක් එල්ල නොවන බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙම මූල්‍ය වර්ෂය තුළදී ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඇම්බියොන් කැපිටල් පීඑල්සී අතර සිදු වූ සමස්ත සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල වටිනාකම රුපියල් 1,150,000,000ක් වන බවත්, එම මූල්‍ය වර්ෂය සඳහා ඇම්බියොන් කැපිටල් පීඑල්සී සිදු කර ඇති සමස්ත සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල වටිනාකම රුපියල් 1,254,300,000ක් වන බවත් අනාවරණය කරයි.

මේ අතර ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය අප්‍රේල් මාසයේ 23 වැනිදා තමන් සතුව තිබූ සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ලිමිටඩ් සමාගම රුපියල් බිලියන 3.9 කට (3,906,723,774) හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම වෙත අලෙවි කිරීමත් සිදු විය.

ඒ යටතේ වන රුපියල් බිලියන 2.9ක මුදලක් හේලිස් ෆැබ්රික් පීඑල්සී වෙතින් අප්‍රේල් 28 වැනිදා ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත ලබා දී තිබුණි.

Views: 350