නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සඳහා කර්මාන්ත අදහස් ලබා ගැනීම වෙනුවෙන් ඊ-සමීක්ෂණයක්.

අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පවසයි.

මෙය 2020 නොවැම්බරයේ සංචාරක පාර්ශවකරුවන් වෙත යෝජනා සඳහා යවන ලද ලිඛිත ඉල්ලීමට අමතරව බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

“ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වසර 30 ක් තිස්සේ ත්‍රස්තවාදයට, සුනාමියට, පාස්කු ඉරිදා ප්‍රහාරයට හා දැන් COVID-19 වසංගතය වැනි බොහෝ බාධක වලට මුහුණ දී තිබේ. කර්මාන්තයේ පාර්ශවකරුවන් දෙස බලන විට අපට තිරසාර කර්මාන්තයක් මෙතෙක් ගොඩනැගීමට නොහැකි වී ඇති බව පෙනේ.” එම අධිකාරිය සඳහන් කරයි.

සකස් කෙරෙන මෙම ප්‍රතිපත්තියට නීති රීති, රෙගුලාසි, මාර්ගෝපදේශ, විධානයන්, අරමුණු සහ සංවර්ධන/ප්‍රවර්ධන ක්‍රමෝපායන් ඇතුළත් වන අතර එය දිගු කාලීන සංචාරක සංවර්ධනයට සහ ගමනාන්තයක් තුළ දෛනික ක්‍රියාකාරකම් වලට සෘජුවම බලපාන සාමූහික හා තනි තීරණ සඳහා රාමුවක් සපයන බව පැවසෙයි.

තවද, මෙම ප්‍රශ්නාවලියට ප්‍රතිපත්ති අරමුණු, ව්‍යුහයන්, භූමිකාවන් සහ වගකීම් සම්බන්ධ ප්‍රශ්නද ඇතුළත් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණ සභාපතිනි, කිමාලි ප්‍රනාන්දු මහත්මිය, “2006 දී, 2005 සංචාරක පනත සම්මත වීමෙන් පසුව, සවිස්තර වාර්තාවක් ආයතන ඒකාබද්ධ කිරීමට සකස් කෙරූ අතර ඉන්පසුව අඛණ්ඩව පැමිණි ආණ්ඩුද, ආයතන ඒකාබද්ධ කිරීමට උත්සාහ දරා තිබුණත් අඛණ්ඩ සභාපතිවරුන්ගේ වෙනස්වීම හේතුවෙන් මෙවැනි ව්‍යාපෘති ඇනහිට තිබේ.  සංචාරක කර්මාන්තය අපේ පුරවැසියන්ගෙන් මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන අතර රටක සංචාරක පනතක් සියලු පාර්ශවකරුවන් නියෝජනය කළ යුතුය. මම අපගේ සියලු පාර්ශවකරුවන්ට මෙම ඊ සමීක්ෂණයට සහභාගී වී ඔවුන්ගේ අදහස් අප සමග බෙදා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා”  යනුවෙන් පවසයි.

නව පනත සිංගප්පූරුව ඇතුළු ගෝලීය හොඳම භාවිතයන් වලට අනුකූලව කෙටුම්පත් කිරීමට කටයුතු සූදානම් වන අතර තරුණ පරම්පරාව, නව නිපැයුම් සහ අත්දැකීම් නිර්මාණය කරන පාර්ශවකරුවන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ කර ගැනීම සහ 80 ගණන්වල චින්තනයෙන් ඉවත් වී ශ්‍රී ලංකාව නව ආකාරයකින් ස්ථානගත කිරීම, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වැනි අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් හවුල්කරුවන් වශයෙන් සංචාරක ව්‍යාපාරයට ඇතුළත් කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

සමීක්ෂණයට සහභාගී වීමට:
සිංහල භාෂාවෙන්: http://bit.ly/NTPSL_S
දෙමළ භාෂාවෙන්: http://bit.ly/NTPSL_T
ඉංග්‍රීසි භාෂාවෙන්: http://bit.ly/NTPSL_E

Visits: 42