CSE & SECපුවත්

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. 4.00 බැගින් ලාභාංශ ප්‍රකාශ කරයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී (එලිෆන්ට් හවුස්) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඒ අනුව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී මගින් දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.00 ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී තිබේ.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාංභාංශ ලබා දෙන දිනය ලෙස ලබන ජූනි 18 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) මැයි 31 ලෙස නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු 8 වැනිදාද සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර, එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.50 බැගින් ලාභාංශ ගෙවීම සිදු විය. එය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන දෙවැනි අතරමැදි ලාභාංශය ලෙසද සමාගම මගින් හඳුන්වා දී තිබුණි.