පෝර්ට් සිටි පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 19 සහ 20

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (13) සවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳකාරක සභාවේදී තීරණය වී තිබේ.

එහිදී සියලුම කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

මෙම දින තුන තුළදීම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ගැනීමට තීරණය වී තිබේ. ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

එසේම මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකිරීමටද තීරණය කෙරී ඇත.

මීට අමතරව ලබන සතියේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වන මැයි 18 වැනිදා මුදල් පනත යටතේ රෙගුලාසියක්, මුදල් පනත යටතේ වන නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් විවාදයට ගැනීමට නියමිතව ඇත.

Views: 178