MarCom Collective හි නව අධ්‍යක්ෂ මණ්ඩලය හා උපදේශක සභාව තේරී පත්වෙයි

පසුගියදා පවත්වනු ලැබූ  MarCom Collective හි සමාරම්භක රැස්වීමේදී ඒ සඳහා වන නව අධ්‍යක්ෂ මණ්ඩලය හා උපදේශන සභාව තෝරා පත්කර ගනු ලැබූ බව නිවේදනය කර සිටියි.

ඒ අනුව රොෂාන් විජයරත්න මහතා – සභාපති, තාරක රන්වල මහතා – පළමු උප සභාපති, සුගිබන් සත්‍යාමූර්ති මහතා – දෙවන උප සභාපති, රෝෂණී ප්‍රනාන්දු මහත්මිය – ප්‍රධාන ලේකම්, නිශාන් වාසලතන්ත්‍රී මහතා – උප ලේකම්, ඩෙලන් සිල්වා මහතා – භාණ්ඩාගාරික, ලක්සිරි වික්‍රමගේ මහතා – සහකාර භාණ්ඩාගාරික, සන්තුෂ් වීරමන් මහතා – අධ්‍යක්ෂ, මාරියෝ නේසදුරෙයි මහතා – අධ්‍යක්ෂ පසුගියදා අභිනවයෙන් පත් කරනු ලැබූ MarCom Collective හි නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරනු ලබයි.

ඒ ආකාරයෙන් අභිනවයෙන් පත් කරනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩ කටයුතු තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා තවත් විශේෂ කමිටුවක්ද පත් කර ගන්නා ලදී. සුලෙයිමාන් නිස්තාර්, භාතිය ජයකොඩි, තයාලන් බාට්ලට් සහ රොහාන් රාජරත්නම් යන මහත්වරුන් එම කමිටුවෙහි සාමාජිකයන් ලෙස කටයුතු කරති.

මෙහිදී පත් කරගනු ලැබූ උපදේශන සභාවට හේමක අමරසූරිය, තිරුකුමාර් නඩරාසා, දීපාල් සූරියාරච්චි, අර්ජුන හේරත්, ඉමල් ෆෝන්සේකා, නිලූෂි ජයතිලක, කස්තුරි චෙලරාජා, ශමීන්ද්‍ර කුලමානගේ සහ මක්ෂූඩ් මීරාසයිබු යන මහත්ම මහත්වරුන් එක් වූහ.

මෙලෙස අලුතින් පත් කරනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්ය භාරය වන්නේ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වන අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයට අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්පාදනය සඳහා සහාය වීමයි.

එසේම ප්‍රතිඵත්තිමය කරුණු සම්බන්ධයෙන් රජය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සහ අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තය තුළ සෑම දෙනාටම පිළිගත හැකි ප්‍රමිතීන් අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් හා වගකිව යුතු ක්‍රියාපටිපාටියක් තුළ කටයුතු කිරීම වෙනුවෙන් කර්මාන්ත සංගම් සමඟ සම්බන්ධීකරණය කිරීමද එහි තවත් කාර්ය භාරයකි. සංගමයට අදාළ සියලු ප්‍රතිඵත්තිමය කරුණු සම්බන්ධයෙන් වන සමාලෝචනය කිරීම,අදහස් ඉදිරිපත් කිරීම හා මඟ පෙන්වීම එහි උපදේශක සභාව විසින් සිදු කරනු ඇත.

Covid -19 ගෝලීය වසංගතය මෙරට ව්‍යාප්ත වීම ආරම්භයත් සමඟ ආරම්භ කරනු ලැබූ  MarCom Collectiveහි සියලු සාමාජිකයන් එක්ව මෙරට ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය අලෙවිකරණ සන්නිවේදන අංශයේ දායකත්වය නොමඳව ලබා දීමට කැපවී කටයුතු කරයි. විශේෂයෙන් වසංගත තත්වය තුළ අලෙවිකරණ සන්නිවේදන අංශය මුහුණ දෙන ගැටළුකාරී තත්වයන් හඳුනාගනිමින් එම අභියෝගයන් ජය ගැනීම වෙනුවෙන්  එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම MarCom Collectiveහි අරමුණයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඵ් MarCom Collective හි සභාපති රොශාන් විජයරත්න මහතා “  2020 වසරේ Covid -19 හේතුවෙන් රට වසා දැමූ මොහොතේ සිට මේ දක්වා බොහෝ පිරිසක් වෙනුවෙන් සුවිසල් වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. විශේෂයෙන් වසංගතය හේතුවෙන් දේශීය කර්මාන්තයන් වෙත සිදුවන බලපෑම හා කර්මාන්තය මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව අවබෝධකර ගනිමින් ඒ සම්බන්ධයෙන් කර්මාන්තය තුළ වගකිවයුතු පිරිස් දැනුවත් කිරීමට අප කටයුතු කළා. එසේම කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි පැවැත්මට හා අභිවෘද්ධියට සුදුසු තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රතිඵත්ති සකස් කිරීමේදී රජය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට අපි බලාපෙරොත්තු වෙනවා. අප සියලු දෙනා එක්ව කටයුතු කිරීම තුළින් මෙම ගෝලීය අර්බුධය හමුවේ අලෙවිකරණ කර්මාන්තය නගා සිටුවීමට හැකි වනු ඇතැයි මගේ විශ්වාසයයි ”යනුවෙන් පවසා තිබේ.

Visits: 84