ඇලුමෙක්ස් පීඑල්සී ශත 10 බැගින් ලාභාංශ ගෙවීමට යයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇලුමෙක්ස් පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 10 බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව ඇලුමෙක්ස් පීඑල්සී සඳහන් කර සිටියි.
මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සටහන්ව ඇත.
මෙහිදී මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 08 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය ලෙස ජූනි 30 වැනිදා සඳහන් කෙරී තිබේ.
මෙම ලාභාංශගෙවීම සම්බන්ධයෙන් සමාගමෙහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවීමටද නියමිතව ඇත. ඒ අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 29 වැනිදා පැවැත්වෙන බවත් ඇලුමෙක්ස් පීඑල්සී සඳහන් කරයි.
සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධමිමික පෙරේරාගේ හේලීස් සමූහයට අයත් සමාගමක් ලෙස ඇලුමෙක්ස් පීඑල්සී සමාගම ක්‍රියාත්මක පවතී. අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඇලුමෙක්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 11.60ක් ලෙස සටහන්ව තිබූ අතර එය පසුගිය සිකුරාදා පැවැති කොටසක වටිනාකම වූ රුපියල් 11.90ට සාපේක්ෂව ශත 30 ක එනම් -2.52% ක පසු බැසීමකි.
පසුගිය මාර්තු මාසයේදීද ඇලුමෙක්ස් සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කර තිබේ. එහිදී කොටසකට ශත 40 බැගින් ලාභාංශ හිමි විය. එය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම විය.
මේ අතර ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු 09 වැනිදා දිනයේදී සිය කොටස් අතුරු බෙදීමක්ද සිදු කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී සෑම ඡන්දහිමි කොටසක්ම තවත් කොටස් දෙකක් ලෙස අතුරු බෙදීම සිදුවිය.
ඒ අනුව එතෙක් පැවැති කොටස් ප්‍රමාණය වූ 299,302,840 මේ වනවිට කොටස් 598,608,680ක් දක්වා දෙගුණයක් වී තිබේ.

Hits: 191