රට පුරා ලොක්ඩවුන් අවදානම දර්ශක අගයන් පහළ වට්ටවයි

අද (මැයි 10) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී දර්ශක අගයන් දරුණු ලෙස කඩා වැටීමකට ලක් විය. එහිදී රට තුළ COVID-19 ආසාදිතයන්ගේ වර්ධනය හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

එසේම නැවතත් රට තුළ ලොක්ඩවුන් සීමා පැනවීමේ හැකියාවද ආයෝජකයන් පසුබැස්සවීමට හේතුවක් විය. එහෙත් නිෂ්පාදන අංශයේ සමාගම් තුළ කොටස් මිලදී ගැනීම් හි වැඩි ආකර්ෂණයක් දැකගත හැකි වුවත් දිනයේ අගභාගයේදී එහිද යම් අඩුවීයාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,130.58ත් ඒකක 7,246.73ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,135.80ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (මැයි 07දා) දිනයට සාපේක්ෂව ඒකක 106.2 ක් එනම් -1.47%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද) රෝයල් සෙරමික් ලංකා පීඑල්සී ගනුදෙනු පිරිවැටුමෙන් 34%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 28ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 148ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.32), පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී GLAS (+1.29), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (+1.27), කොමර්ෂල් බැංකුව COMB (+0.76), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+0.75), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-11.04), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.77), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-6.26), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-6.21), වැලිබල් වන් පීඑල්සී VONE (-5.94) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,838.19ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (07දා) ‍ට සාපේක්ෂව ඒකක 37.45 ක එනම් -1.30%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2.47ක් ලෙස සටහන්ව තිබූ අතර, එය සිකුරාදා (මැයි 07) වාර්තා කළ රුපියල් මිලියන 2.78ට සාපේක්ෂව 11% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.15ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.38%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 164.03ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 877.34ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 713.31කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.23ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 50.11 කි. එසේම හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද කොටස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 755.99ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 970ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 39% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 569ක සහ රුපියල් මිලියන 443ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 289