කොරියාවෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 500 ක සහනදායී ණය ආධාරයක්

කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාව වෙත සහනදායි ණය ආධාර ලබා දීමට කොරියානු ජනරජය එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු රජය මෙම ණය ආධාරය ලබා දී තිබේ.

ඒ අනුව, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක් ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හරහා ලබා ගැනීම සඳහා 2020-2022 කාල සීමාව සඳහා නව කාර්යරාමු එකඟතාවයකට අත්සන් කිරීමට කොරියානු සහ ශ්‍රී ලංකා රජයන් එකඟ වී තිබේ.

මෙම සහනදායී ණය ආධාරයෙහි ණය පොළී අනුපාතය 0.15%-0.20% වැනි අවම අගයක් ගන්නා අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වේ.

ඊට අමතරව, මනා සම්බන්ධීකරණයකින් යුතුව ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම උදෙසා, එහි සභාපතිතුමන් විසින් 2016 ජනවාරි මස කොළඹදි විවෘත කරන ලද කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත කාර්යාලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා මෙම කාර්යරාමුව තුලින් දෙපාර්ශවය එකඟ වී ඇත.

මෙම කාර්යරාමු එකඟතාවය මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ කොරියානු තානාපති අතිගරු වුන්ජින් ජියොන් මහතා විසින් අත්සන් කිරීම අද දින (2021 මැයි 10 ) සිදු කරන තිබේ.

Visits: 73