JAT හෝල්ඩිංග්ස් මූලික මහජන කොටස් නිකුතුව ජූනි අගදී?

මෙරට මුල් පෙළේ ව්‍යාපාරික සමාගමක් වන JAT හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම ලබන ජූනි මාසය අගදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුකරන සිය මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

අද දිනයේදී පළ කෙරුණු ‘ද මෝර්නිං’ ඉරිදා පුවත්පත සමගින් අදහස් දක්වා තිබෙන JAT හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඒලියන් ගුණවර්ධන මහතා මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ලියකියවිලි මේ වනවිටත් සම්පූර්ණ කර සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත මෑතකදී භාර දී ඇති බවත් සඳහන් කර සිටියි.

එම කොමිෂන් සභාව සහ කොටස් හුවමාරුව එක්ව මෙරට පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා සිදු කළ ආරාධනාවට අනුව JAT හෝල්ඩිංග්ස් සමාගම මෙම මූලික මහජන කොටස් නිකුතුව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙලෙස පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් ලැයිස්තුගතවිමට හේතුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ගුණවර්ධන මහතා, සිය සමාගම සතුව දැනට පවතින හැකියාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම මූලික කොටස් නිකුතුව අත්‍යවශ්‍ය කාරණාවක් වීම බව පවසා තිබේ.

“අපගේ අලෙවිකරුවන් සහ බෙදාහරින්නන් සමාගමේ කොටස්කරුවන් බවට පත් කරමින් අප ඉදිරියේදී තවදුරටත් අපේ මෙහෙයුම් බංග්ලාදේශය සහ අප්‍රිකාව වෙත පුළුල් කිරීම මෙම මූලික මහජන කොටස් නිකුතුව සිදු කිරීමේ තවත් හේතු ලෙස සඳහන් කරන්න පුළුවන්.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

JAT හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම අයත් JAT සමූහය යටතේ තවත් සමාගම් කිහිපයක්ම ක්‍රියාත්මකව පවතී. වර්ල්ඩ්වයිඩ් රෙසින්ස් (පෞද්) සමාගම, බ්‍රෂ් මාස්ටර්ස් (පෞද්) සමාගම, ජැට් ග්ලෝබල් (පෞද්) සමාගම, ජැට් එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම, ජැට් එක්ස්පෝර්ට්ස් ඩීඑම්සීසී එම සමාගම් වෙයි.

මේ වනවිට JAT හෝල්ඩිංග්ස් සමාගම සිය මෙහෙයුම් ඝානාව, සීෂෙල්ස්, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය සහ පාකිස්තානය වෙතත් ව්‍යාප්ත කර ඇතැයිද පුවත්පත පවසයි.

එසේම මෙලෙස ලැයිස්තුගතවීම හරහා සමාගම් වෙත රජය මගින් ලබා දෙන බවට සඳහන් බදු සහනද මෙම මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යොමුවීමට හේතුවක් ලෙසද ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

2021 වසර සඳහා වන අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරමින් අගමැති, මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා, දේශීය සමාගම් කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ප්‍රවර්ධනයට රජය පියවර ගන්නා බව පවසා තිබුණි. එහිදී 2021 දෙසැම්බර් 31 වැනිදාට පෙර ලැයිස්තුගත වන එවැනි සමාගම් වෙනුවෙන් 2021/2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 50%ක බදු සහන ලබාදීමටද යෝජනා වී තිබේ. ඊට අමතරව වසර තුනක් යනතුරු සාංගමික බදු අය කරගැනීමේ අනුපාතය 14%ක මට්ටමේ පවත්වා ගෙන යාමටත් එහි සඳහන්ව ඇත.

සිය මෙහෙයුම් පුළුල් කරගැනීම සහ මෙම සහන අත්විදීම ඇතුළු අරමුණු සහිතව දැනටමත් සමාගම් කිහිපයක්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා කටයුතු යොදා ඇත.

ඒ අතරින් පළමු සමාගම ලෙස වින්ඩ්ෆොර්ස් ලිමිටඩ් සමාගම පසුගිය මාර්තු මාසයේදී සිය මූලික මහජන කොටස් නිකුතුව සිදු කළේය. එසේම ක්‍රිස්වර්ල්ඩ් සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී සිය මූලික මහජන කොටස් නිකුතුව සිදු කර තිබේ. මීට අමතරව ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම ලබන මැයි 11 වැනිදා සිය මූලික මහජන කොටස් නිකුතුවට සූදානමින් සිටියි.

Views: 589