රෝයල් සෙරමික්ස් සහ හේලීස් සමූහයේ සමාගම් දර්ශක අගයන් ඉහළ දමයි

අද (මැයි 07) කොළඹ කොටස් හුවමාරුව පිට පිට තෙවැනි දිනටත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. එහිදී විශේෂයෙන්ම රෝයල් සෙරමික්ස් සහ හේලීස් සමූහයේ සමාගම්හි කොටස් සම්බන්ධයෙන් පෙන්නුම් කළ ආකර්ෂණයේ ඉහළ යාම ඊට දායකත්වය දී තිබේ.

එසේම ප්‍රධාන පෙළේ සමාගම් තුළ විදෙස් ආයෝජන පිටතට ගලායෑම්ද අතරේ බැංකු අංශයේ කොටස් වටිනාකම්ද ක්‍රමයෙන් ඉහළ යාම සිදු විය. මීට අමතරව දේශීය ආයෝජකයන් අතර ලාභ ඉපැයීම් සහ එන්නතේ බලාපොරොත්තුවද දර්ශක අගයන් ඉහළ නැංවීමට හේතු වී ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,186.98ත් ඒකක 7,255.67ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,242.00ක් බවට පත්විය. එය ඊයේ (මැයි 06දා) දිනයට සාපේක්ෂව ඒකක 53.91 ක් එනම් 0.75%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකු ගනුදෙනු පිරිවැටුමෙන් 31.0%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 115ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 56ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+7.81), හේලීස් පීඑල්සී HAYL (+6.63), වැලිබල් වන් පීඑල්සී VONE (+6.46), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (+6.28), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.26), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.99), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.46), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.32), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.19), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-0.89) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,875.64ක අගයක් ගත් අතර, එය ඊයේ (06දා) ‍ට සාපේක්ෂව ඒකක 36.68 ක එනම් +1.29%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2.78ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මැයි 06) වාර්තා කළ රුපියල් මිලියන 1.25ට සාපේක්ෂව 123% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.19ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.88%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 80.82ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 996.04ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 915.22කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 23.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 41.66 කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 585.75ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,009ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 36% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ නිෂ්පාදන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 908ක සහ රුපියල් මිලියන 278ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 582