මැයි දින නිවාඩුවේදී චීන්නු ඩොලර් ට්‍රිලියනයක ඔන්ලයින් ගනුදෙනු සිදු කරලා

පසුගිය 01 වැනිදාට යෙදුණු මැයි දින නිවාඩු දිනයද ඇතුළත්ව දින පහක නිවාඩු කාලසීමාවේදී චීන ජනතාව අන්තර්ජාල ගෙවීම් වේදිකා හරහා පමණක් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයකට අධික ගනුදෙනු සිදු කර ඇතැයි වාර්තා පවසයි.

එරට අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් වන NetsUnion සහ කාඩ්පත් ගෙවීම් පිළිබඳ දැවැන්තයෙකු වන UnionPay හි ගනුදෙනු වාර්තා අනුව මේ පිළිබඳව අනාවරණය කෙරී ඇත. ඒ අනුව මෙම වේදිකා දෙක හරහා සිදු කර ඇති ගනුදෙනුවල වටිනාකම යුආන් ට්‍රිලියන 6.97ක් එනම් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.07ක් ලෙස සටහන්ව තිබේ.

පසුගිය බදාදා දිනයෙන් අවසන් වූ මෙම නිවාඩු දින පහක කාලය තුළදී චීන ජනතාව සංචරණය, ආපනශාලා සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් මෙම ගෙවීම් සිදු කර තිබෙන බව සඳහන්ව තිබේ.

මේ අතරින් NetsUnion හරහා අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමේ ගනුදෙනු බිලියන 8.53ක් සිදුව ඇති අතර, එහි වටිනාකම යුආන් ට්‍රිලියන 5.06 කි. එසේම UnionPay හරහා සිදු ව ඇති සමස්ත ගනුදෙනුවල වටිනාකම යුආන් ට්‍රිලියන 1.91 කි.

මෙහිදී ජනතාව එම නිවාඩු දින කිහිපය තුළදී ආපනශාලා සඳහා වැය කර ඇති වටිනාකම්හි ප්‍රතිශතය 30%ක් ඉක්මවා ඇත. එසේම හෝටල් සහ සාප්පු සංකීර්ණ සඳහා සිදු කරන ලද වියදම්ද ඉහළ ගොස් තිබේ.

මීට අමතරව විවිධ සංස්කෘතික අංග සහ විනෝදාස්වාදන ඉසව් සඳහාද සිදු කරන වියදම් කිරීම් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම සිනමා, රූපවාහිනි සහ අනෙකුත් විනෝදාස්වාදන අංශ වෙත අන්තර්ජාලය හරහා සිදු කර ඇගි ගෙවීම් පෙර වසරට සාපේක්ෂව මෙම නිවාඩු කාලයේදී 161% කින් ඉහළ ගොස් ඇතැයි NetsUnion ආයතනය පවසයි.

Visits: 417