මෙරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට Face book අත්වැල් බැඳගනී

එන්නත්කරණය පිළිබඳ දැනුවත්වීම සඳහා ජනතාවට අවශ්‍ය සහය ලබාදීම සහ එන්නත්කරණයේ වැදගත්කම ප‍්‍රචලිත කිරීම මඟින් කොවිඩ්-19 මර්ධනය කිරීමේ එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සමඟ Facebook ආයතනය සහයෝගීතාවයකට එළඹුණු බව පවසයි.

මෙම මූලිකත්ව වැඩසටහන හරහා ශ‍්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදීම වෙනුවෙන් Facebook විසින් විවිධ ක‍්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබේ.

 ● කොවිඞ්-19 එන්නත්කරණ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ හැකියාව වැඩිකිරීමට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශ (HPB) වෙබ් අඩවිය වෙත ජනතාව යොමු කිරීම

● එන්නත්කරණ ව්‍යාපාරයට ජනතාව සහය දක්වන බව තමන්ටම ප‍්‍රදර්ශනය කරගැනීමේ හැකියාව ලැබෙන සහ එය දිරිමත් කිරීම සඳහා කොවිඞ්-19 ප්‍රොෆයිල් ෆෙම් එකක් Facebook හී හඳුන්වාදීම

● ශ‍්‍රී ලාංකිකයන්ට කොවිඞ්-19 වෛරසය පිළිබඳව ඇති වැරදි තොරතුරු හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධව නැඟී සිටීමට අවශ්‍ය දැනුම මෙන්ම අදාළ සෞඛ්‍ය මානයන් පිළිබඳ දැනුවත්භාවය ලබාගැනීම වෙනුවෙන් පොදු අධ්‍යාපනික ප‍්‍රචාරණ ව්‍යාපාරයක් (www.fightcovidmisinfo.com) දියත් කිරීම.

● මුව ආවරණ පැළඳීම සහ නිසි සෞඛ්‍ය හුරුපුරුදු දිගටම පවත්වාගැනීම දිරිමත් කරමින් ජනතාව තවදුරටත් කොවිඞ්-19 තොරතුරු කෛන්ද්‍රය වෙත යොමු කිරීම

”ශ‍්‍රී ලංකාව කොවිඞ්-19 වසංගත අභියෝගය ජයගැනීමේ දී Facebook විසින් දිගින් දිගටම නිවැරදි සෞඛ්‍ය තොරතුරු රටේ ජනතාව වෙතට සමීප කිරීමේ කාර්යභාරය ඉටුකරනවා.” යැයි Facebook හී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු යසස් විශුද්ධි අබේවික‍්‍රම මහතා පවසයි.

“දැනුවත්භාවය ඇති කිරීමට, සාවද්‍ය තොරතුරු සංසරණය වැළැක්වීමට වගේම Facebook හී පුළුල් ව්‍යාප්තිය සහ පරිශීලකයාට වේගවත් ලඟාවීමේ හැකියාව ප‍්‍රයෝජනයට ගනිමින් ශ‍්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට එන්නත ලබාගැනීමේ අවස්ථාව වැඩිකිරීම සඳහා දියත් කළ මේ අලූත්ම දැනුවත් කිරීමේ ව්‍යාපාරයට එකතුවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මම ස්තුතීවන්ත වෙනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලොව පුරා ව්‍යාප්ත වූ නිවැරදිව බලයලත් කොවිඞ් එන්නත්කරණ තොරතුරු ලබාදීමේ විශාලතම දැනුවත් කිරීමේ ව්‍යාපාරය Facebook විසින් දැනටමත් ක‍්‍රියාත්ම කරයි. ජනතාවට කොවිඞ් එන්නත්කරණය පිළිබඳ තොරතුර දැනගැනීමට සහ ප‍්‍රජාව අතර සෞඛ්‍ය පිළිබඳව ඇති සාවද්‍ය තොරතුරු සංසරණයවීම අවම කිරීමට මෙන්ම ඒවා හඳුනා ගැනීමට මේ හරහා සහය ලබාදෙයි. ශ‍්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගත ආරම්භ වූ කාලයේ පටන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ සමීපව වැඩකරමින් කොවිඞ් මර්ධන කාර්ය සාර්ථක කරගැනීමට Facebook කටයුතු කළේය.

”වර්තමානයේ දී වෙනදාට වඩා ශ‍්‍රී ලංකාව ඩිජිටල්කරණය වෙලා තියෙනවා. තමන්ගේ පවුගේ අය සහ හිතමිතුරුන් සමඟ සමීපව සිටීමට සහ තොරතුරු බෙදාහදා ගැනීමට සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිතා කිරීමට ජනතාව දැන් පෙළඹිලා ඉන්නවා. Facebook සමඟ අපි ඇති කරගත් සහයෝගීතාවය හරහා එන්නත්කරණය පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකික සැමට ඉතාමත් පහසුවෙන් උදාවේවී යැයි මම හිතනවා.” යැයි ශ‍්‍රී ලංකා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත කරුණාපෙම මහතා පැවසීය.

“එන්නත්කරණ ක‍්‍රියාවලිය නිවැරදිව ක‍්‍රියාත්මක කිරීමට සහය දක්වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් සියලූ දෙනාටම අපි ස්තුතිවන්න වන අතරම මෙම ප‍්‍රචාරණ ව්‍යාපාරය තුළින් වැඩි පිරිසක් එන්නත ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා.”

සෞඛ්‍ය බලධාරීන්ගේ නිවැරදි තොරතුරු කොවිඞ්-19 තොරතුරු කෛන්ද්‍රයට ලබාගනිමින් ගෝලීය වශයෙන් බිලියන 2කට වැඩි ජනතාවක් නිසි තොරතුරු වෙත සම්බන්ධ කිරීමට Facebook සමත්වී තිබේ.

තවද කොවිඞ්-19 වසංගතය පිළිබඳ අනර්තකාරී තොරතුරු අඩංගු සටහන් මිලියන 12ක් ජාලය තුලින් ඉවත් කිරීමට සහ මෙම සමාජ වේදිකාව හරහා නිවැරදි එන්නත්කරණ තොරතුරු සහතික කිරීමට කටයුතු කර තිබේ. තෙවන පාර්ශව තොරතුරු පරීක්ෂකයන්ගේ සහය ඇතිව මිලියන 167ක් වැරදි තොරතුරු සටහන් සාවද්‍ය යැයි සලකුණු කිරීමට ද ඔවුන් සමත්වී ඇත.

Hits: 54