ලැයිස්තුගතවීමේ සැලසුම් අදියරේ – PickMe පවසයි, තවම අප දැනුවත් නෑ! – CSE පවසයි

මෙරට ක්‍රියාත්මක විශාලතම දේශීය කුලී රථ මගී ප්‍රවාහන සේවා ඇප් වැඩසටහන වන පික්මී (PickMe) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම අරමුණු කරගනිමින් ඉදිරියේදී සිය මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යොමු වීමේ අදහසින් පසු වන බව පවසයි.

ඊයේ දිනයේ පළවුණු ද සන්ඩේ මෝර්නිං පුවත්පත වෙත අදහස් දක්වන පික්මී නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරීන් සුල්ෆර් ෆිෆ්රි මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව පික්මී ඉදිරියේදී පොදු සමාගමක් ලෙස ලැයිස්තුගත කිරීමට සැලසුම් කරමින් තිබෙන බවත්, එහි කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවත් පවසා තිබේ. ඒ අනුව මෙම කටයුතු දැනට සැලසුම් අදියරේ පවතින බව ඔහු මෙහිදී අවධාරණය කර ඇත.

“අපි මේ පිළිබඳව පසුව මහජනතාවට දැනුම් දෙනවා. තවමත් මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නැහැ.” යනුවෙන් ජිෆ්රි පුවත්පත වෙත පවසා ඇත.

මෙහිදී පුවත්පත අදාළ මූලික මහජන කොටස් නිකුතුව හරහා පික්මී කොපමණ ප්‍රාග්ධනයක් රැස් කරගැනීමට සූදානමින් සිටින්නේද යන්න පිළිබඳ සිදු කළ විමසුමට වැඩිදුර තොරතුරු ලබා දීම පික්මී සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර පුවත්පත කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතාගෙන්ද මෙම ලැයිස්තුගතවීම සම්බන්ධයෙන් විමසා ඇති අතර, ඊට පිළීතුරු ලබා දී ඇති ඔහු පික්මී සමාගම ලැයිස්තුගතවීමට යන්නේද සම්බන්ධයෙන් මෙතෙක් කොළඹ කොටස් හුවමාරුව දැනුවත්වී නොමැති බව පවසා ඇත.

2015 වසරේදී ආරම්භ කෙරුණු පික්මී ඇප් සේවාව මගින් කුලී රථ මගියා සහ කුලී රථ රියදුරා අතර තත්‍ය-කාල සබඳතාවක් ඇති කරවමින් එදිනෙදා අවශ්‍ය කරන ප්‍රවාහන අවශ්‍යතාවන් වෙත විසඳුමක් ලෙස ඉදිරිපත් වූවකි. එසේම අද වනවිට එය විවිධ භාණ්ඩ ප්‍රවාහනය දක්වාද ව්‍යාප්ත වී තිබේ.

එසේම කොළඹ කොටස් හුවමාරු ඉතිහාසය තුළ මෙවැනි ප්‍රවාහන පහසුකම් සපයන ඇප් වැඩසටහනක් ලැයිස්තුගතවීමක් සඳහා යොමුවන පළමු අවස්ථාවද මෙය වීමද විශේෂත්වයකි.

මේ වසරේ මේ දක්වා සමාගම් තුනක් කොළඹ කොටස් හුවමාරුව තුළ සිය මූලික මහජන කොටස් නිකුතූන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අතරින් පුනර්ජනනීය බලශක්ති ප්‍රමුඛයෙකු වන වින්ඩ්ෆෝර්ස් සමාගම පසුගිය මාර්තු මාසයේදී සිය මූලික මහජන කොටස් නිකුතුව සිදු කරමින්, පසුගියදා කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවිය.

එසේම තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ ප්‍රවාහන සේවා සපයන ක්‍රිස්වර්ල්ඩ් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව ලබන අප්‍රේල් 27 වැනිදා සිදු කිරීමට නියමිතව සිටියි. මීට අමතරව මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳ සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් සමාගමද ලබන මැයි 11 වැනිදා සිය මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කර තිබේ.

Views: 393