ක්‍රිස්වර්ල්ඩ් මූලික මහජන කොටස් නිකුතුවට CDS වෙතින් ඩිජිටල් පහසුකම් සලසයි

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ සිදු කරන ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ඉලෙක්ට්‍රොනික – මූලික මහජන කොටස් නිකුතු අයැදුම් පත්‍ර (e-IPO applications) සඳහා CSE හි ජංගම දුරකතන ඇප් වැඩසටහන (CSE Mobile APP) හරහා පහසුකම් සලසන බව මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) ක්‍රියාත්මක කරන කොළඹ කොටස් හුවමාරුවෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත Central Depositary Systems පෞද්ගලික සමාගම පවසයි.

කොළඹ කොටස් හුවාමරුවෙහි මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමේ කටයුත්තේ සහ මධ්‍යම තැන්පතු පද්ධතියේ සේවා පුළුල් කිරීමේ කටයුත්තට සමගාමීව මෙම නව විශේෂාංගය හඳුන්වාදීම සිදු කරන බව එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව එම සමාගම මගින් සිය ඉලෙක්ට්‍රොනික සේවා වේදිකාව තුළදී හඳුන්වා දුන් ඉලෙක්ට්‍රොනික-ලාභාංශ (e-Dividend) සහ ඉලෙක්ට්‍රොනික-හිමිකම් (e-rights) යන බොහෝ ඩිජිටල්කරණ හඳුන්වාදීම්වලට අමතරව සිදු කරන ලද තවත් නවතම හඳුන්වාදීමක් ලෙසද මෙය හැඳින්වෙයි.

එහිදී CDS සමාගම තවත් ඉදිරි පියවරක් තබමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වන සමාගම් වෙත ඔවුන්ගේ මූලික මහජන කොටස් නිකුතූන්හිදී රෙජිස්ට්‍රාර් සේවා සැපයීමක් සිදු කරන බවත්, ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගම එහි ආරම්භය බවත් පවසයි.

මෙම ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දක්වන CDS පෞද්ගලික සමාගමෙහි ප්‍රධානී නලින් ෆොන්සේකා මහතා, “ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ලැයිස්තුගතවීම හරහා කොටස් හුවමාරුව වෙත ඇතුළත් වෙනවා. මෙම මූලික මහජන කොටස් නිකුතුව වඩාත් විශිෂ්ට අවස්ථාවක්, මොකද මේ හරහා රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුවීමට ආරාධනාවක් සිදු කරනවා. මෙලෙස විවිධාංගීකරණය වූ සමාගම් කොටස් හුවමාරුව වෙත එක්වීමත් සමගින්ම, සමාගම් වෙත මෙන්ම ආයෝජකයන් වෙතත් තමන්ගේ කටයුතු වඩාත් ඩිජිටල්කරණයක් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වෙනවා. මේ ආකාරයට මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා ඩිජිටල් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දීම හරහා ආයෝජකයන් වෙත වඩාත් හොඳ අත්දැකීමක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ කොටස් හුවමාරුව තුළ ඉදිරියේදී සිදු කිරීමට නියමිත මූලික මහජන කොටස් නිකුතු කටයුතු වැඩිදියුණු කිරීමටත් හේතුවක් වේවි.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, “කාලය කියන්නේ ඕනෑම කර්මාන්තයකට වඩාත් වැදගත් දෙයක්. CDS සමාගම ආයෝජකයන්ගේ වගේම ලැයිස්තුගත සමාගම්වලත් වාර්තාවන්හි එකම රැකවලා ලෙස කටයුතු කරන අවස්ථාවේ පටන්ම, අපගේ විශ්වාසය වුණේ මූලික මහජන කොටස් නිකුතුවක් සම්පූර්ණ කිරීම සඳහා ගත වන කාලය අඩු විය යුතුයි කියලයි. මෙම e-IPO ඉල්ලුම්පත්‍ර විකල්පය දැනටමත් ලැයිස්තුගත සමාගම් වෙත මෙන්ම කොටස් හුවමාරුව වෙත පැමිණීමට බලාපොරොත්තුව සිටින නව සමාගම් වෙතත් එක ලෙස ප්‍රතිලාභ සලසාවි.” යනුවෙන්ද පවසා තිබේ.

Visits: 251