“රටේ ජනතාව පරිභෝජනය කරන ආහාර පිළිබඳ නිසි නියාමනයක් සහ පරීක්ෂාවක් දැන්වත් ඇති කළ යුතුයි” – ආහාර ප්‍රමිතීන් පිළිබඳ විශේෂඥ උපදේශක ආචාර්ය ප්‍රභාත් සමරසිංහ

පසුගිය සති කිහිපයේදී මෙරට සමාජය තුළ වඩාත් ඉහළ ආන්දෝලනයට ලක් වූ කාරණා අතර ඇෆ්ලාටොක්සින් නම් පිළිකාකාරක සංඝටකය අඩංගු ආනයනික පොල්තෙල් පිළිබදව සිදුවීමද මුල් තැනක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කළ පරීක්ෂාවලදී මෙලෙස එම ආනයනික පොල්තෙල් තුළ ඇෆ්ලාටොක්සින් අඩංගු බවට හඳුනා ගැනීමක් සිදු විය.

මෙහිදී එම විෂ පොල්තෙල් යළි ප්‍රති අපනයනය කිරීමක් සිදු කළ බවට බලධාරීන් පැවසුවද, ඒවා ගෙවුණු අලුත් අවුරුදු  සමයේදී වෙළෙද පොළ වෙත නිකුත්ව තිබූ බවටද ජනතාව අතර රාවයක් පැවතීම මෙම ආන්දෝලනය ඇතිවීමට හේතු වී තිබුණි.

කෙසේ වෙතත් මෙලෙස ආනයනය කරන ලද පොල්තෙල්වල පමණක් නොව අප එදිනෙදා භාවිතා කරන මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල පවා මෙම ඇෆ්ලාටොක්සින් නම් පිළිකාකාර සංඝටකය පැවතීමේ හැකියාවක් පවතින බව මේ පිළිබදව කරුණු දක්වන ආහාර හා සම්බන්ධ බොහෝ විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව ඇෆ්ලාටොක්සින් නම් මෙම පිළිකාකාර සංඝටකය පොල්තෙල් තුළ හඳුනාගැනීමේ අවස්ථාව සහ මිනිස් සිරුරට අහිතකර වන ආහාර තුළ අඩංගු තවත් මෙවැනි අහිතකර දෑ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සදහා ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙබ් අඩවියේ අපි ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රමිතිය පිළිබඳ ඉහළ දැනුමක් ඇති විශේෂඥයෙකු වන ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා සම්බන්ධ කරගත්තෙමු.

රසායන විද්‍යා (විශේෂවේදී) උපාධියක් හිමි සමරසිංහ මහතා, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, කළමාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගෙන තිබේ. එසේම ඔහු ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රමිති සහතික සම්බන්ධ (ISO 22000 /HACCP) විශේෂඥ උපදේශකවරයෙකි. අද වන විට ඔහු ලංකාවේ තරු පන්තියේ හෝටල් 80කට වඩා වැඩි සංඛ්‍යාවක ආහාර සම්බන්ධයෙන්ද, මාලදිවයිනේ ආපනශාලා සහ හෝටල් 30කට වඩා වැඩි සංඛ්‍යාවකට ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රමිතීන් සම්බන්ධ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරයි.

ඒ මහතා සඳහන් කරන අකාරයට පිළිකාකාරයක් වන මෙම ඇෆ්ලාටොක්සින් කාලාන්තරයක් තිස්සේම මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල් නිෂ්පාදනවල පැවතීමේ හැකියාවක් පවතී. එහෙත් මෙවැනි ආනයනික ආහාර ද්‍රව්‍ය ඇතුළුව පාරිභෝගිකයන් වෙත යොමුවන අනෙකුත් ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු බලධාරීන් නිසි ලෙස පරීක්ෂාවකට ලක් නොකිරීම නිසා මෙවැනි අහිතකර විෂ ද්‍රව්‍ය අඩංගු ආහාර ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

 “මම හිතන විදියට කාලාන්තරයක් තිස්සේ මේ රටේ ජනතාව මෙම පිළිකාරක ඇෆ්ලාටොක්සින් සහිත පොල්තෙල් භාවිතා කර තිබෙනවා. එක් පරීක්ෂණයකදී තමයි මේ පිළිබඳව පැහැදිලිවම අනාවරණය වුණේ. එසේ නොවුණා නම් තවමත් ඒ පිළිබඳ අවදානයක් කිසිවෙකු තුළවත් ඇති වෙන්නේ නැහැ.

උදාහරණයක් විදියට කිව්වොත් පසුගිය කාලසීමාව පුරාම අපේ රටට පොල්තෙල් වගේම පොල්තෙල් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදු කරලා තිබෙනවා. මේ අමුද්‍රව්‍ය ඇෆ්ලාටොක්සින් කියන මේ පිළිකාකාරයක තිබෙන්නට ඇති කියලා තමයි මම විශ්වාස කරන්නේ.

මොකද අද ලංකාව ගත්තහම පිළිකා ඇති වීමේ වේගය 33% කින් ඉහළ ගිහින් තිබෙනවා. දවසකට හමුවන පිළිකා රෝගීන් සංඛ්‍යාව සාමාන්‍යයක් ගත්තහම 76ක්. ඉන් 34ක් මරණට පත්වන රටක් බවට අද ලංකාව පත්වෙලා. හැබැයි අද බොහෝ දෙනෙක් කොවිඩ්-19 කියන බෝවන රෝගය සම්බන්ධයෙන් බය වෙලා ඉන්නවා. හැබැයි බෝනොවන රෝග ගණයට වැටෙන මේ පිළිකා නිසා ඊට වඩා වැඩි පිරිසක් දිනකට මරණයට පත් වෙනවා.” සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙහිදී අවධානයට යොමු කළ යුත්තේ පිළිකාව යනු දවසකින් හෝ දෙකකින් ඇතිවන රෝගයක් නොවන බවත් එය කාලාන්තරයක් තිස්සේ අප ගන්නා ආහාර අනුව අපගේ සිරුරු තුළ වර්ධනය වෙන්නක් බවද ඔහු පවසයි.

“අද කාපු කෑමක් නිසා හෙට පිළිකා හැදෙන්නේ නැහැ. පිළිකා, අක්මා, වකුගඩු සහ අනෙකුත් නිධන්ගත රෝග වගේ දේවල් ඇති වෙන්නේ අද කන දේවල් නිසා නෙමෙයි. ඒ නිසා අද මේ පිළිකා රෝගීන් වැඩිවෙන්න හේතුව ගිය මාසයේ ගෙනාපු මේ ඇෆ්ලාටොක්සින් තියෙන පොල්තෙල් කාපු නිසා නෙමෙයි. මේවා නිසා රෝගීන් ඇතිවෙන්නේ තවත් අවුරුදු 5කින් විතර.”

සමරසිංහ මහතා පවසන අකාරයට මෙම ඇෆ්ලාටොක්සින් යනු ඕනෑම ධාන්‍යමය ආහාරයක් මත ඇතිවිය හැකි දිලීර වර්ගයකි. එය පොල්තෙල්වල පමණක්ම ඇතිවිය හැක්කක් නොවෙයි. පොල්තෙල් යනු ඉන් එක් වර්ගයකි. අප එදිනෙදා ආහාරයට ගන්නා කෑලි මිරිස්, පරිප්පු, හාල්, කඩල යනාදියේද මේ ඇෆ්ලාටොක්සින් පැවතීමේ හැකියාව පවතී.

“අපේ පැරණි ගෙවල්වල හාල් ගෙදෙට්ට ගන්න කොට ඒවා හොඳින් අව්වේ තියලා වේලා ගන්නවා. අපේ මිනිස්සු දැනගෙන හිටියා මේ වගේ දිලීර හාල්වල ඇතිවෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ධාන්‍ය වැනි දේවල් හැම තිස්සේම තෙතමනය නොරැදෙන වියළි තත්ත්වයන්ගෙන් තබා ගත යුතුයි. අපි ධාන්‍ය ගබඩා කරන තැන පින්න රැදෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවායේ ඇෆ්ලාටොක්සින් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි නොදැනුවත්ම ඒවා ආහායටත් ගෙන තිබෙන්නත් පුළුවන්.

අද වෙන කොට ඇෆ්ලාටොක්සින් වර්ග 14ක් හඳුනාගෙන තිබෙනවා. ඒ 14න් 4ක් තමයි මනුෂ්‍ය ශරීරයට අහිතකර වෙන්නේ. මේ 4න් 2ක්ම පොල් තෙල්වල ඇති වෙන්න පුළුවන්. ඒ දෙක තමයි වඩාත්ම පිළිකාකාරක වෙන්නේ. මෙතැනදී අක්මාව හා සම්බන්ධ පිළිකාවලට මෙය ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ වගේම අපේ වකුගඩුවලට හානි වෙන්න පුළුවන්.” සමරසිංහ මහතා පවසයි.

මෙම සිදු වීමට සමගාමීව මාධ්‍ය හරහා කෙරුණු වාර්තා කිරීම් අනුව මෙරටට ආනයනය කෙරුණු බොර පොල් තෙල් සාම්පලයක් සහ සාමාන්‍ය පොල්තෙල් සාම්පලයක් අතර වෙනසද ජනතාවට පැහැදිලිව දැකගත හැකිවිය. එහෙත් ලෝක වෙළෙඳ පොළේ පොල්තෙල් අපනයනය සහ ආනයනය සිදු කෙරෙන්නේ මෙවැනි බොර පොල්තෙල් ආකාරයෙන් බවත්, එය පිරිපහදු කිරීමෙන් පසුව පොල් තෙල් ලබා ගන්නා බවත් සමරසිංහ මහතා පවසයි..

“හැබැයි මේ බොරතෙල් නිපදවීමේදී කෘත්‍රිමව ඇෆ්ලාටොක්සින් යෙදිමක් සිදු වෙන්නේ නෑ. ඒ වුණාට එම නිෂ්පාදන ක්‍රියාවලියේදී නියමිත උෂ්ණත්වයක් රඳවා තබා ගැනීමට නොහැකි වුණොත්, එහෙමත් නැත්නම් ඒවා ගබඩා කර තැබීමේදී ඇතිවන දෝෂ නිසා මෙම බොර පොල්තෙල් වල ස්වාභාවිකවම ඇෆ්ලාටොක්සින් හට ගැනීමක් සිදු වෙනවා. ඊට අමතරව පිරිපහදුවේදී එක් කරන රසායනික ද්‍රව්‍ය නිසාත් මේ ඇෆ්ලාටොක්සින් හට ගැනීමේ අවස්ථාවක් තිබෙනවා.”

කෙසේ වෙතත් මෙතැනදී ප්‍රශ්නය ඇත්තේ මෙවැනි ආහාර රටට පැමිණෙන විට ඒවා නියාමනය කිරීමේ ඇති ගැටලුව බව සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

“ඒකට තමයි පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය වැනි ආයතන තියෙන්නේ. මෙවැනි අහිතකර දේවල් රටට ඇවිල්ලා ජනතාව අතරට යන ඒවා වළක්වන්න. දැන්වත් මේ සදහා ක්‍රමවේද සකස් විය යුතුයි. එවැනි දෙයක් නැතිකම තමයි මෙවැනි ගැටලුවලට හේතුව.

උදාහරණයක් ගත්තොත් ඔස්ට්‍රේලියාව වැනි රටකට අපේ රටෙන් කැරට් යැව්වොත්, ඒ කැරට්වල පස් ස්වල්පයක් හරි තිබුණොත් ඒ කැරට් සියල්ලම ඔවුන් රටට භාරගන්නේ නෑ. ආපසු හරවා එවනවා. මොකද ඒ රටවල් වෙනත් රටක තියෙන පස් ඒ රටට ගෙන්වා ගන්නේ නෑ. ඒ පස්වල තමන්ට අහිතකර බැක්ටීරියාවක් හෝ දිලීරයක් තිබිලා ඒවා ඒ රටේ පස්වලට මුසුවීමට ඇති හැකියාව ගැන ඔවුන් බලනවා.

හොම උදාරණයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් අවස්ථාවකදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙන කොට ඔවුන්ගේ සපත්තුවල පස් තිබුණා කියලා රටට ඇතුළු වෙන්න දුන්නේ නෑ. එතැනදී ඔවුන්ගේ සපත්තු ඉවත් කරන්න බලධාරීන් පියවර ගත්තා.”

දියුණු රටවල මෙවැනි ආකාරයට පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි නීති රීති ක්‍රියාත්මකව තිබුණද, අපේ රටේදී එවැනි ආයතන සිදු කරන්නේ පිළිකාකාරක අඩංගු අහාර ද්‍රව්‍යවලට රටට ඇතුළුවීමට ඉඩදී බලා සිටීම පමණක් බවද සමරසිංහ මහතා පවසයි.

“මේක තමයි ප්‍රධානම වැරැද්ද. මෙතැන තමයි වැරැද්ද හදන්න තියෙන්නේ. හදිසියේම සිදු කරපු පරීක්ෂාවක් හරහා ඇෆ්ලාටොක්සින් තියෙන පොල්තෙල්  හමුවීම නිසා ඒවා ගෙනාපු ව්‍යාපාරිකයන් කිහිප දෙනා හිරකරලා මේ ගැටලුව මෙතැනින් ඉවර වෙන්නේ නැහැ.

ඒ නිසා මේ ඇෆ්ලාටොක්සින් කියන පිළිකාකාරකය ලංකාවට එන එක නැවැත්වීමේ හරි ක්‍රමවේදය තමයි තියෙන්න ඕනේ. ලංකාවට එන ඕනෑම කෑම වර්ගයක් පරීක්ෂාවට ලක් කරන්න වෙනවා. ඒ සම්බන්ධ නියාමන ක්‍රමවේදයක් භාවිතා කළ යුතුයි.”

මෙතැනදී රටට එන පිළිකාකාරක අඩංගු ආහාර වර්ග වගේම රට තුළදීදී විවිධ පුද්ගලයන් විසින් සිදු කරන ක්‍රියා නිසා ආහාරවලට එකතුවන පිළිකාකාරක ද්‍රව්‍යයත් පවතින බව ඔහු පෙන්වා දෙයි.

“උදාහරණයක් විදියට ගත්තොත් රටට ගේන ඇපල් ගෙඩියක් ගහේ තිබුණටත් වඩා වැඩි කාලයක් අපේ වෙළෙඳ සැල්වල තිබෙනවා. ඇපල් කියන්නේ තෙතමනයක් සහිත පළතුරක්. එය ඉක්මණින් වියළීමට පත් වෙනවා. එය වළක්වා ගන්න එක්සත් ජනපදය ඇතුළු ඇපල් නිෂ්පාදනය කරන රටවල එම ඇපල්වලට උඩින් ආලේපනයක් යොදනවා.

හැබැයි මෙතැනදී එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය අනුමත කරලා තිබෙන්නේ මිනිසුන්ට කෑමට හිතකර ආලේපනයක් ඊට යොදන්න කියලයි. උදාහරණයක් විදියට මීපැනිවලින් ලබා ගන්න ස්වාභාවික ආලේපනයක් ඊට යොදනවා. ඒත් අපේ රටේදී ඒ සඳහා යොදා ගන්නේ අනුමත නොවන කෘත්‍රිමව සාදා ගන්න ආලේපනයක්. ඒ වගේම වැඩි කාලයක් ඇපල් ගෙඩිය නැවුම්ද තබා ගන්න අනුමත ප්‍රමාණයට වඩා වැඩියෙන් ඒවා යොදනවා.

ඉස්සර බටහිර තිබුණු කතාවක් තමයි ඇපල් ගෙඩියක් කනවා කියන්නේ දවස් ගණනකින් දොස්තරවරයා ඈත් කර තබා ගැනීමක් කියලා.ඒ තරමටම ඇපල්වල ඉහළ පෝෂ්‍ය ගුණයක් තිබෙනවා. හැබැයි අද ඇපල් ගෙඩියක් කනවා කියන්නේ ඉක්මණින්ම දොස්තර කෙනෙකු ළගට යන්න සිදු වෙන එකයි.”

ඒ නිසා මෙවැනි තත්ත්වයන් වළක්වා ගන්න පාරිභෝගික අධිකාරිය කර ඇති දේ මොනවාද යන්න මහජනතාව විදියට අහන්න සිදු වී ඇතැයිද ඔහු මෙහිදී පෙන්වා දෙයි.

“අපේ සුපිරි වෙළෙඳ සැල්වල තියෙන ඇපල්වල ගාලා තියෙන වැක්ස් එක මොනවාද, ඒ ප්‍රමාණය අඩුද වැඩිද, මේ ඇපල් ආනයනය කරන ලොකුම සමාගම් මේ ආලේපනය කිරීම් කොහෙද කරන්නේ කියලා පරීක්ෂා කිරීමක් මේ අධිකාරිය මගින් මේ වන තුරුම සිදු වෙන්නේ නෑ.

මේ දේවල් හරියට සිදු නොවුණොත් මේ රැල්ලේ විදියට පොල්තෙල්වල තියෙන ඇෆ්ලාටොක්සින් ඒම වළක්වා ගන්න පුළුවන් වුණත්, ඇපල්වල තියෙන මේ අහිතකර පිළිකාකාර ද්‍රව්‍ය නිසා ඇති වන ලෙඩ රෝග වැඩිවේවි.” ඔහු පවසයි.

එසේම මෙරට ගොවි බිම්වලින් නෙලා ගන්නා කෙසෙල් ඇතුළු පළතුරු ඉක්මණීන් ඉදවීමට වෙළෙන්දන් විසින් යොදා ගන්නා කැල්සියම් කාබයිට් යනුද පිළිකාකාර රසායකික ද්‍රව්‍යයක් බව ඔහු පවසයි.

“අද ලෝකය තුළ සොයා ගෙන තිබෙනවා මේ කැල්සියම් කාබයිට් යොදා ගැනීම නිසා සිදුවන රසායනික ප්‍රතික්‍රියාව නිසා ඇති වන ඇසිටලීන් නම් රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් එයද පිළිකාකාරකයක් විය හැකියි කියලා. අද හෝටල්, ආපනශාලා ඇතුළු ස්ථාන වැඩි ප්‍රමාණයකට පළතුරු ලබා දීමේදී මෙම කාබයිට් යොදා ඉදවීමක් සිදු කරනවා.

මේ නිසා ඇති වන තත්ත්වය ඇෆ්ලාටොක්සින්වලට වඩා භයානකයි. අපි කල්පනා කළොත් සතියකට පොල්තෙල් දාලා කෑමක් කන්නේ අවස්ථාවන් කීයද, සතියකට පළතුරු කියක් කනවාද. ඒ නිසා මෙතැනදී වඩාත් භයානක පොල්තෙල්ද? කාබයිට් ගහපු පළතුරුද? කියලා කල්පනා කරන්න වෙනවා.

මේ තත්ත්වය වළක්වා ගන්න පාරිභෝගික අධිකාරිය ප්‍රමිති ආයතනය මොනවාද අරගෙන තියන පියවර. අදටත් මේ කාබයිට් ගැසීම තහනම් කිරිමක්වත් රට තුළ වෙලා නැහැ. තවුරුත් අද මේ ගැන දන්නේ නැහැ. හැබැයි තවත් අවුරුදු පහකින් විතර පළතුරු වල කැල්සියම් කාබයිට් තිබුණා, මේක පිළිකාකාරයක් කියලා එකපාරටම මිනිස්සු දැන් වගේ කෑගහන්න දගලන්න පටන් ගනීවි.”

ලංකාවේ පවතින කුළුබඩු නිෂ්පාදනද මෙවැනි පිළිකාකාර රසායනික ද්‍රව්‍යවලින් ගැලවීමක් ලබා නැතැයිද සමරසිංහ මහතා පවසයි. ඒ අතරින් අද වෙළෙඳ පොළේ පවතින මිරිස් කුඩු සඳහා වෙළෙදුන් ඒවායේ නියමිත රතු පැහැ වර්ණය ලබා ගැනීම සඳහා ‘සුඩාන්’ නමැති රසායනිකය යොදවන බව ඔහු අනාවරණය කරයි.

“ලංකාවේ නිපදවන මිරිස් ටික මදි අපේ රටේ ජනතාවගේ මිරිස් කුඩු අවශ්‍යතාවට. ඒ නිසා ඉන්දියාව වගේ රටවලින් ඒවා ආනයනය කෙරෙනවා. මේ මිරිස් කුඩුවල වර්ණය වෙනස්. අපේ රටේ අයට ඕන කරන වර්ණය ගන්න තමයි මේ සුඩාන් කියන රසායනික ද්‍රව්‍ය යොදා ගන්නේ. මෙය කෙලින්ම පිළිකාකාරයක්.

ඒ වුණත් අපේ රටට එන මේ මිරිස්වල පාට ගන්න කොපමණ සුඩාන් ප්‍රමාණයක් යොදා ගන්නවාද කියන දේ පරීක්ෂා කිරීමක් මේ බලධාරීන් අතින් සිද්ද වෙනවාද කියනදේ ගැටලුවක්. මේ කුළුබඩුවලට අනුමැතිය දෙන්නේ ඒවා බලලාද, කවුද අනුමැදිය දෙන්නේ කියන දේ ගැටලුවක්. එවැනි අධික ලෙස සුඩාන් යෙදූමිරිස් කුඩු ආනයනය කරලා අහුවුනොත් ගන්න ක්‍රියාමාර්ග මොනවාදකියන දේ අදටත් පැහැදිලි නෑ.

ඒ නිසා තව අවුරුදු දෙකකින් විතර මේ විදියට සුඩාන් යොදපු මිරිස් කුඩු වෙළෙඳ පොළේ තියනවා කියලා ආන්දෝලනයක් ඇති වේවි. අපේ රටේ මිනිස්සු පොල්තෙල්වලට වඩා මිරිස් කුඩු කනවා.”

එසේම නගර ආශ්‍රිතව ගැඹුරු තෙලේ බැඳෙන ආහාර සකස් කිරීම සඳහා භාවිත කරන තෙල් ශරීරයට අහිතකර බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

“පාම් තෙල් හරි එළවලු තෙල් තමයි මේ සඳහා යොදා ගන්නේ. විශේෂයෙන්ම අපි ගැඹුරු තෙලේ බැදලා ගන්න ආහාර සඳහා යොදා ගන්නා තෙල් වල තියෙනවා අසංතෘප්ත මේදය. මේවා රත් කරන්න… රත් කරන්න සංතෘප්ත මේදය බවට පත් කෙරෙනවා. මේ සංතෘප්ත මේදය තමයි අහිතකර කොලොස්ටරෝල් ඇති කිරිමට දායක වෙන්නේ. ඒ හරහා හෘදයාබාද ඇති වෙනවා.

ආහාර ප්‍රමිති සහතික ලබා දීමේදී අපි කියනවා මේ විදියට ගැඹුරු තෙලේ බදින තෙල් තුන් පාරකට හරි හතර පාරකට හරි වැඩියෙන් භාවිතා කරන්න එපා කියලා. මොකද එය මිනිසුන්ට හානිකරයි. හැබැයි ලංකාවේ 99%ක් දෙනා මේ තෙල් යොදා ගෙන පනස් වාරයක් විතර ගැඹුරු තෙලේ බදිනවා. මේවා තමයි රටේ කොලෙස්ටරෝල් රෝගීන් වැඩි වෙන්න හේතුව.”

විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන හෝටල්වලින් ගැඹුරු තෙලේ බැදඉතිරි වන තෙල් ඒ අවට බැදුම් කටයුතු කරන සිදු කරන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඉතාමත් අඩු මිලකට මිලදී ගන්නා බවත්, එම රෝල්ස්, වඩේ, සමෝසා වැනි ගැඹුරු තෙලේ බැදෙන කෙටි ආහාර සඳහා යොදා ගන්නා මෙම තෙල් බවත් ඔහු පවසයි.

“මේ සුළුපරිමාණ ව්‍යාපාරිකයන්ට හැකියාවක් නෑ අලුත් තෙල් ගන්න. ඒ නිසා 80%ක් විතර මිල අඩුවෙන් ඔවුන් මේ තෙල් ගන්නවා. මිනිසුන් මේ ගැන දන්නවාද කියන දේ ගැටලුවක්.”

ඒ අනුව විවිධ සමාගම් මගින් රට වෙත ආනයනය කරන මෙවැනි ආහාර ද්‍රව්‍ය යනාදිය තුළ පාරිභෝගිකයා වෙත පවතින හිතකර අහිතකර බව පරීක්ෂා කිරීම සඳහා අදාළ ආයතන නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමද කළ යුතුව ඇතැයි සමරසිංහ මහතා පවසයි. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමත් බලධාරීන්ගේ වගකීම බවද ඔහු පෙන්වා දෙයි.

“මෙතැන වැදගත්ම දේ වෙන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට මෙම ආහාරවල අඩංගු අහිතකර දෑ පිළිබඳ පරීක්ෂා කරන්න දැනුම සහ ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් තිබෙනවාද කියන එක. ඒ වගේම එම පරීක්ෂණාගාරවල භාවිතා කරන උපකරණ මොනවාද කියන දේත් බලන්න ඕනේ. මේවා සඳහා නවීනතම උපකරණ අවශ්‍යයි. මොකද ඒ උපකරණ නැත්නම් මේ දේවල් හසු කරගන්නත් බැහැ.

අපි මේ විදියට වෙනත් රටවලින් කුණු ගෙනැල්ලා කාලා අන්තිමට අපි ලෙඩ වුණාමත් බෙහෙත් ගන්න වෙන්නෙත් ඒ රටවලින්මයි. ඒ සඳහා වෙන වියදමත් වැඩියි. සරලවම කිව්වොත් අපි හැමදාමත් දුප්පත් වෙනවා, ලෙඩ්ඩු වෙනවා. ඒ රටවල් පොහොසත් වෙනවා. ඒ අතරදීම ඒ රටවල් තමන්ගේ ජනතාව ආරක්ෂා කරගන්නවා.

එක්තරා ළමා රෝග පිළීබඳ විශේෂඥ ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයෙක් පවසා තිබෙනවා ඉතාමත් අවසානාවන්ත දෙමව්පිය යුගයක් උදා වී තිබෙනවා. දෙම්පියන් මැරෙන්න කලින් ළමයින් මැරෙන කාලයක් උදාවෙලා කියලා. මොකද අපි ළමයින්ට කුඩා කාලයේ ඉදන්ම වහ ලබා දෙන අවස්ථාවක් දැන් උදාවෙලා. අපි එවැනි තැනකට යනවාද නැද්ද කියන එක අපිටම තීරණය කරන්න වෙනවා.” සමරසිංහ මහතා අවසන් වශයෙන් පවසා සිටියි.

Hits: 180