වින්ඩ්ෆෝර්ස් සතු විදේශගත විදුලිබල උත්පාදන ධාරිතාව ඉහළ යන ලකුණු

කොළඹ කොටස් හුවමාරුවෙහි ආසන්නතම ලැයිස්තුගත සමාගම වන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම මගින් උගන්ඩාවේ ඉදි කළ මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරය ලබන මැයි 10 වැනිදා විවෘත කෙරෙන බව එම සමාගම පවසයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙරට පෞද්ගලික අංශයේ විශාලතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා ලෙසසැලකෙන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම පසුගිය අප්‍රේල් 22 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම නිල වශයෙන් සිදු කෙරුණු අවස්ථාවේදී පැවැති සීනු නාද කිරීමේ අංගයෙන් පසුව සංවිධානය වූ මාධ්‍ය හමුවේදී එම සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම බංග්ලාදේශය, කැමරූන් සහ පාකිස්තානය ඇතුළු තවත් රාජ්‍යයන් කිහිපයක් තුළ සිය පුනර්ජනනය බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටින බව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති වින්ඩ්ෆෝර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා මහතා, සිය සමාගම ඉදිරියේදී විදේශීය විදුලි බලාගාර සඳහා දක්වන දායකත්වය එහි සමස්ත විදුලි බල උත්පාදන ධාරිතාවයෙන් දැනට පවතින 30% ප්‍රතිශතයේ සිට 40%ක් දක්වා ඉහළ නංවන බව පවසා තිබේ.

“මේ ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා වින්ඩ්ෆෝර්ස් සමාගම බංග්ලාදේශය සහ කැමරූන් වැනි නව වෙළෙඳ පොළ වගේම දැනට ව්‍යාපෘති ක්‍රියාත්මක පාකිස්තානය සහ සෙනගාලය තුළත් නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇති කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා.” යනුවෙන්ද මෙහිදී අනාවරණය වී තිබේ.

අද වනවිට වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගමේ සමස්ත බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 218ක් ලෙස සටහන්ව ඇත. ඒ අතරින් 77%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව ඇති අතර ඉතිරි උගන්ඩාව, පාකිස්තානය සහ යුක්රේනයේ ස්ථාපිතව තිබේ.

කෙසේ වෙතත් ලබන මැයි 10 වැනිදා විවෘත කෙරෙන මෙගාවොට් 10ක සූර්ය විදුලි බලාගාරයද සමගින් සමාගම විදේශයන් තුළ ක්‍රියාත්මක විදුලි බලාගාර මගින් සිදු කරන විදුලිබල උත්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ යන බවත් සමාගම පවසයි.

මේ අතර වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගමේ ප්‍රධානතම කොටස්හිමිකරුවෙකු වන හයිද්‍රාමනී සමූහ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් බංග්ලාදේශය තුළදී සුළං විදුලා බලාගාර ව්‍යාපෘතියක් වෙත යොමු වීමටත් සමාගම අදහස් කරගෙන සිටියි. මෙහි ධාරිතාව මෙගාවොට් 20-50ත් අතර වෙයි.

අදවනවිට හයිද්‍රාමනී ඇගලුම් සමාගම බංග්ලාදේශය තුළ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, එහි සේවකයන් 25,000ක් සේවයේ නිරත අතර ශ්‍රී ලාංකික කළමනාකරුවන් 400ක් මගින් ඔවුන් කළමනාකරණය කරයි. එසේම ඉදිරියේදී කැමරූන් රාජ්‍යය තුළදී සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සම්බන්ධයෙන්ද දැනටමත් එම සමාගම වෙත ආරාධනා ලැබී ඇතැයි පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ මන්ජුල පෙරේරා මහතා, “අපිට කැමරූන්හිදී සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ආරාධනා ලැබී තිබෙනවා. එය තවමත් තිබෙන්නේ මූලික අදියරේ. අප්‍රිකාව අපේ එක් මූලික වෙළෙඳ පොළක්. අප්‍රිකාව තුළ අපිට ඉතාමත් හොඳ පෙර වාර්තා තිබෙනවා. නියමිත කාලයට අපි ඒ ව්‍යාපෘති නිම කරලා තිබනෙවා.” යනුවෙන් මෙහිදී පවසා තිබේ.

මේ අතර, පාකිස්තානය තුළ මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා වන ලංසු තැබීමද වින්ඩ්ෆෝර්ස් සමාගම මගින් දැනටමත් ඉදිරිපත් කර ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණි. ඊට අමතරව සෙනගාලය තුළ මෙගාවොට් 30ක සූර්ය විදුලිබලාගාරයක්ද මෙගාවොට් 7.5ක බැටරි ගබඩාවක්ද ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය තමන් සතු කර ගැනීමට වින්ඩ්ෆෝර්ස් සමත්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වෙළෙඳ පොළ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා, එය සතුව ඉතාමත් හොඳ අනාගත වර්ධනීය හැකියාවක් පවතින බව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම දැනට රට තුළ පුනර්ජනනීය බලශක්තිය හරහා සිදු කරන 10-11%ත් අතර ප්‍රතිශතයක් ගන්නා  විදුලි බල උත්පාදනය වසර 2030 වන විට 70%ක ප්‍රතිශතයක් දක්වා ඉහළ නැංවීමේ රජයේ අරමුණද ඊට හේතුව බව සමාගම පවසයි.

ඒ අනුව වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම දැනටමත් මන්නාරමේ මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරයක් සඳහා කටයුතු කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය කර තිබේ.

Visits: 402