හේලීස් ෆැබ්රික් ‘සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්’ ගත්තේ රුපියල් බිලියන 3.9 කටලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත බහුතර කොටස් හිමිකාරීත්වයක් පැවැති සීමාසහිත සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් සමාගම අත්පත් කරගැනීමේදී තමන් එහි 97.68%ක කොටස් ප්‍රතිශතයක් අදාළ සමාගමෙන් මිලදී ගත් බව හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් 3,953,361,887ක් (රුපියල් බිලියන 3.95ක්) ලෙස සටහන්ව තිබේ.

පසුගිය අප්‍රේල් 22 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. එසේම අප්‍රේල් 23 වැනිදාද තවත් සුළු කොටස් හිමියෙකු සතුව තිබූ සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් සමාගමේ 1.16%ක කොටස් හිමිකාරීත්වයක්ද අත්පත් කරගැනීමට හේලීස් ෆැබ්රික් පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම අත්පත් කරගැනීම යටතේ සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් සමාගමෙහි 98.84%ක කොටස් ප්‍රතිශතයක් මේ වනවිට හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම වෙත හිමිව තිබේ.

හේලීස් ෆැබ්රික් සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහයේ පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි. ඒ අනුව හේලීස් සමූහයට අයත් සමාගම් සංඛ්‍යාව තවත් ඉහළ යාමක්ද මේ සමග සිදු වෙයි.

සිය ව්‍යාපාරය වන අපනයනය මූලික කරගත් ඇගලුම් කර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය ඉහළ අගය එකතු කළ වටිනාකමක් සහිත රෙදි ලබා දීමේ කටයුත්තේදී එහි ධාරිතාව ඉහළ නැංවීම සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම අත්පත් කරගැනීම සිදු කළ බව හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

“මෙම අත්පත්කරගැනීම හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම අපනයනය ඉලක්ක කරගනිමින් ලෝක මට්ටමේ සන්නාම සඳහා සිදු කරන ඇගලුම් නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය කරන ඉහළ අගය එකතු කිරීමක් සහිත රෙදි පිළි ලබාදීමේ මෙහෙයුම්හි ධාරිතාව ඉහළ නැංවීමේ උපායමාර්ගික සැලසුමේ අවස්ථාවක්.” යනුවෙන් හේලීස් ෆැබ්රික් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා පවසා ඇත.

Visits: 334