සිලෝන් ග්‍රේන් එලවේටර්ස් රු.4.50 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.50 බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී ඇත.

මෙය 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ගෙවනු ලබන අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 04 වැනිදා නම් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන අප්‍රේල් 21 වැනිදා ප්‍රකාශයට පත් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

සුප්‍රසිද්ධ ප්‍රීමා සිලෝන් සන්නාමයේ හිමිකාරීත්වය පවතින්නේද සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගම වෙතයි. එහි වැඩිම කොටස් හිමිකාරීත්වය වන 45.45%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සිංගප්පූරුවෙහි ප්‍රීමා ලිමිටඩ් සමාගම සතුවයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 138ක් ලෙස සටහන් විය. එය ඊයේ දිනයේදී පැවැති කොටසක වටිනාකම වූ රුපියල් 127ට සාපේක්ෂව රුපියල් 11 කින් එනම් 8.66%කින් වටිනාකම ඉහළ යාමකි.

Views: 328