අසමත් මූල්‍ය සමාගම්වල තැනැපත්කරුවන්ගේ වැඩි කළ වන්දි මුදල් ගෙවීම අරඹයි

විවිධ හේතූන් නිසා අර්බුදයන්ට ලක්ව අසමත් වී ඇති බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට ආරම්භ කර ඇතැයි පවසයි.

මීට පෙර මෙම යෝජනා ක්‍රමය යටතේලබා දුන් වන්දි මිදල ලක්ෂ 6ක් පමණක් වූ අතර, මෙම වැඩිකළ මුදලක් සමග එය අද වන විට ලක්ෂ 11ක් දක්වා ඉහළ නංවා තිබේ. මෙම වන්දි මුදල් හිමිකම තැන්පත්කරුවන්ට හෝ අදාළ නීත්‍යානුකූල තැන්පතු උරුමකරුවන් වෙත පිරිනැමේ.

ඒ අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්.ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනවල තැන්පත්කරුවන්/අදාළ නීත්‍යානුකූල තැන්පතු උරුමකරුවන් වෙත එම වන්දි මුදල් ගෙවීම සිදු කරන බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව 2021.04.04 දිනයේදී මහ බැංකුව නිකුත් කළ පුවත්පත් නිවේදනයේ දැක්වෙන ආකාරයට නියමිත කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරම සහ අනෙකුත් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම වැඩි කළ වන්දි මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී.

ඉහත සඳහන් කළ මූල්‍ය සමාගම් අතරින් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන තුනෙහි තැන්පත්කරුවන්ට වැඩි කළ වන්දි මුදල් ගෙවීම මේවනවිටත් අරඹා තිබේ.

එසේම ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් තැන්පත්කරුවන්ට අද දිනයේ සිට, ද ෆිනෑන්ස් කම්පැනි ආයතනයේ තැන්පත්කරුවන්ට ලබන සඳුදා (12දා) සිටද තමන්ට හිමි වන්දි මුදල් ලබා ගත හැකි බව මහ බැංකුව සඳහන් කරයි.

මීට අමතරව ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ට/නීත්‍යානුකූල තැන්පතු උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම නුදුරු දිනෙකදීම ආරම්භ කෙරෙනු ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව මේ අතරින් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් තැන්පත්කරුවන්ගේ පහසුව සඳහා හෙට (10දා) පෙරවරු 9. සිට පස්වරු 2.00 දක්වා දිවයින පුරා පිහිටි සියලුම ශාඛා විවෘතව තැබීමට මෙම කාර්යයෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත බැංකුව ලෙස පත් කර ඇති මහජන බැංකුව පියවර ගෙන ඇතැයිද පවසයි.

මේ පිළිබඳ වැඩිවිස්තර දුරකතන අංක 0112477000/ 0112477261/ 0112398788 හරහා ශ්‍රීලංකා මහ බැංකුවෙහි නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකිය.

Visits: 136