ඩොලර් ලක්ෂයක් රටට ගෙන එන මැණික් ව්‍යාපාරිකයන්ට මෝටර් රථ ආනයනය කිරීමේ අවස්ථාව?

එක්සත් ජනපද ඩොලර් ලක්ෂයක (රුපියල් කෝටි දෙකකට ආසන්න) විදේශ විනිමය වටිනාකමක් මෙරටට රැගෙන එන මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතව සිටින ව්‍යාපාරිකයන් වෙත ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේ අවස්ථාව ලබා දීමට රජය අදහස් කරගෙන සිටින බව  මැණික් සහ ස්වර්ණාභරණ හා සම්බන්ධ කර්මාන්ත සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

පසුගියදා කොළඹදී පැවැත් වුණු මෙරට මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ගේ හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්ත සංගමය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

අද වනවිට රට තුළ විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මෝටර් රථ ආනයනය තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට විකල්පයක් ලෙස මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී පවසා තිබූ බව මෙම වාර්තාව ගෙන එන ඩේලි නිවුස් පුවත්පත පවසා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා, අලුතින් ස්ථාන 900ක පමණ හඳුනාගත් ප්‍රදේශවල දැඩි පරිසර රෙගුලාසි යටතේ මැණික් පතල් ඇරඹීම සඳහා රජය අවසරය ලබා දීමට සූදානමින් සිටින බවත් පවසා තිබේ.

එහිදී දැවැන්ත වාරි ව්‍යාපෘතියක් වන කුඹුක්කන් ඔය ඉදිකිරීම සිදුකරන පරිශ්‍රය සහ එම ව්‍යාපෘතියෙන් පසුව ජලයෙන් යටවන ප්‍රදේශයද මැණික් පතල් සඳහා ලබා දෙන බව ඔහු සඳහන් කර ඇත.

“ලබන සතියෙදී පමණ අලුතින් අක්කර 300ක පමණ භූමියක් මැණික් පතල් සඳහා වෙන් කිරිමට රජය බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

එසේම මැණික් ගලක් පතලෙන් හමු වී එය ගැණුම්කරුවෙකු කරා ළගා වන තෙක් එයට සිදුවන දෑ නිරීක්ෂණය සඳහා නව තාක්ෂණය යොදා ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා, “රත්නපුරයේ ඉදි කෙරෙන මැණික් කුලුණට අමතරව ඉදිරියේදී දැවැන්ත හෝටල් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්ද ඉදිවේවි.” යනුවෙන් පවසා තිබේ.

එසේම තවත් ව්‍යාපෘති රැසක් සඳහාම බදු  සහන ලබාදීමටත්, ඒ හරහා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ඉක්මණින්ම ඩොලර් බිලියනයක විදේශ මුදල් ඉපැයීමක් බවට පත් කිරීමටත්, වසර 2025 වන විට එය ඩොලර් බිලියන 5ක කර්මාන්තයක් බවට පත් කිරීමත් අරමුණ බවත් ඔහු සඳහන් කර ඇත.

Views: 587