Empower පුවරුවෙහි ලැයිස්තුගත වන පළමු SME සමාගමට CSE අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සඳහා ලැයිස්තුගතවීමේ පහසුකම් සපයා තිබෙන Empower පුවරුවෙහි ලැයිස්තුගත වන එවැනි පළමු සමාගම වෙත අනුමැතිය ලබා දීමට කොළඹ කොටස් හුවමාරුවෙහි බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

අද පළ වුණු ඩේලිඑෆ්ටී පුවත්පත මේ සම්බන්ධ පුවතක් පළ කරමින් මෙම කරුණු අනාවරණය කරයි.  

පුවත්පතට අනුව මෙහිදී ලැයිස්තුගතවීමේ පළමු අනුමැතිය හිමිව ඇති සමාගම වන්නේ Chrissworld Ltd නම් සමාගමයි. තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳව (3PL – third party logistics) විශේෂඥතාවක් සහිත එම සමාගම සතුව සුවිශේෂී ගුදම් කළමනාකරණ සහ ගබඩා විසඳුම් පවතින බවත් සඳහන් වෙයි.

මෙහිදී එම සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුකිරිමට සැලසුම් කර තිබෙන මූලික මහජන කොටස් නිකුතුව සඳහා කළමනාකරුවන් ලෙස Atarah Capital Partners නම් සමාගම ඉදිරිපත්ව සිටින බවත්, මෙම නිකුතුව පිළිබඳව ප්‍රකාශනය ඉදිරි සතියේදී පමණ එළිදක්වනු ඇති බවත් පුවත්පත වැඩිදුරටත් පවසයි.

මෙරට ක්‍රියාත්මක සමාගම් අතරින් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලෙස හඳුනාගෙන තිබේ. රටෙහි රැකියා නියුක්තියෙන් 45%ක් ඒ හරහා නිර්මාණය වී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් සඳහා දායකත්වය ලබාදෙන්නේද මෙම ක්ෂේත්‍රයයි.

මෙවැනි සමාගම් වෙත සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීම වෙනුවෙන් මෙලෙස ලැයිස්තුගතවීමේ අවස්ථාව ලබා දීම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි අරමුණ වී තිබේ.

මෙම Empower පුවරුවෙහි ලැයිස්තුගතවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සමාගමක් මූලිකව සම්පූර්ණ කළ යුතු සුදුසුකම් කිහිපයකි. ඒ අනුව අදාළ ලැයිස්තුගතවීමේ අවස්ථාව වනවිට එහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ට වැඩි සහ රුපියල් මිලියන 200ට නොඅඩු විය යුතුය.

එසේම මූලික මහජන කොටස් නිකුතුව සිදු කරන අවස්ථාවේදී සමාගම සතුව රුපියල් මිලියන 10කට නොඅඩු ප්‍රකාශිත ප්‍රාග්ධනයක්ද පවත්වා ගෙන යා යුතුය.

මීට අමතරව අදාළ ලැයිස්තුගතවීම සඳහා ඉල්ලුම්කරන දිනය වනවිට එම සමාගම වසර දෙකක කාලයක් පවත්වාගෙන ආවක් විය යුතුය. එහිදී අදාළ ඉල්ලුම්පත්‍රය ලබා දෙන අවස්ථාව වන විට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 600ක් හෝ ඊට අඩු විය යුතුය.

මේ අතර අදාළ සමාගම මගින් සිදුකරන ලැයිස්තුගතවීමේ ඉල්ලුම් පත්‍රය කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය සහිත ‘අනුග්‍රාහකයෙකු’ හරහා සිදු කළ යුතුව තිබේ. මෙහිදී මූලික ලැයිස්තුගතවීමේ ගාස්තුව රුපියල් 75,000 කි.

මීට අමතරව තවත් කොන්දේසි කිහිපයක්ද මෙම ලැයිස්තුගතවීමට අදාළව පවතින බව කොළඹ කොටස් හුවමාරුව පවසා සිටියි.

Views: 641