AstraZeneca එන්නත Vaxzevria ලෙස නම වෙනස් කරයි

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ස්වීඩනයේ AstraZeneca සමාගම එක්ව නිෂ්පාදනය කළ ‘AstraZeneca’ කොවිඩ්-19 මර්දන එන්නතේ නම Vaxzevria ලෙස වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම සමාගම මගින් සිදු කළ ඉල්ලීමකට අනුව පසුගිය මාර්තු 25 වැනිදා මෙම නම් වෙනස් කිරිම සිදු කර තිබේ. ඒ අනුව මෙම නම් වෙනස් කිරිම පිළිබඳ නිවේදනය යුරෝපියානු ඖෂධ ඒජන්සියේ (EMA) වෙබ් අඩවිය තුළද ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙලෙස නව නමකින් ඉදිරිපත් වුවද AstraZeneca එන්නතේ ඇති සංයුතිය වෙනස් නොකරන බවද සමාගම සඳහන් කර සිටියි.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු මෙම AstraZeneca එන්නත ආසන්න මාස කිහිපයේදී යුරෝපා සංගමයේ රාජ්‍යයන් තුළ තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. එම එන්නත් මාත්‍රා ලබා ගැනීම හරහා පුද්ගලයන් තුළ රුධිර කැටිති ඇති වන බවට වන අදහස ඊට හේතුවයි. ඒ අනුව යුරෝපයේ රටවල් කිහිපයක්ම මෙම එන්නත ලබා දීම මේ වනවිට අත්හිටුවා ඇත.

මෙලෙස ආසන්න මාස කිහිපයේදී AstraZeneca එන්නතේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් මතුවුණු කාරණා සමනය කිරිම වෙනුවෙන් AstraZeneca සමාගම සිය නම Vaxzevria ලෙස වෙනස් කිරිමට තීරණය කරන්නට ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ.

ඉන්දියාවේ Serum Institute ආයතනය මගින් Covishield ලෙස නිෂ්පාදනය කෙරෙන්නේද මෙම AstraZeneca එන්නත් මාත්‍රාවයි. ශ්‍රී ලංකාවද ඇතුළුව තවත් රටවල් රැසකටම මෙම එන්නත් මාත්‍රා ඉන්දියාව මගින් අපනයනය කර තිබේ.

Visits: 73