කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තුළ ගනුදෙනු වෙන්නේ ඩොලර්වලින්ලු

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයේ විශේෂිත ආර්ථික කලාපය තුළ සිදු කෙරෙන ගනුදෙනු සියල්ලම එක්සත් ජනපද ඩොලර් වටිනාකමින් සිදු වනු ඇතැයි මෙම කලාපය සම්බන්ධයෙන් සකස් කළ දළ නීති කෙටුම්පත තුළ සඳහන්ව ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන්ම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීම් හමුවේ මෙම කලාපයේ ක්‍රියාත්මක ව්‍යාපාර සහ ඒවායේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරවීමේ අරමුණින් සහ මූල්‍ය ස්ථායිතාව ඇති කිරිම වෙනුවෙන් අදාළ කෙටුම්පත හරහා මෙම තීරණය ගෙන තිබෙන බව  මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙලෙස කොළඹ වරාය නගරය තුළ විශේෂිත ආර්ථික කලාපයක් පිහිටුවීමට අදාළ කෙටුම්පත වෙත පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. එය ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමටද නියමිතව තිබේ.

මෙහිදී කොළඹ වරාය නගරයෙහි ආර්ථික කලාපය තුළ සිය ව්‍යාපාර සිදුකරන දේශීය සහ විදේශීය ආයෝජකයන් සියලු දෙනාම කොළඹ වරාය නගරයෙහි ආර්ථික කොමිසමේ අනුමැතියට යටත් විය යුතුව ඇතැයිද මෙම දළ කෙටුම්පත තුළ ඇතුළත්ව තිබෙන බවත් වෙබ් අඩවිය පවසයි.

එහිදී සියලුම ආයෝජන ඉල්ලුම්පත්‍ර විදේශ මුදල් ඒකක හරහා සිදු කළ යුතුව තිබේ. එසේම එම මුදල්ද විදේශයන්හි සිට පැමිණෙන ඒවා විය යුතුය. එහිදී කිසිදු දේශීය බැංකුවකට සිය විදේශ විනිමය බැංකු ඒකක හරහා මෙවැනි ආයෝජනයක් සඳහා අරමුදල් සැපයීමේ අවස්ථාවක් නොමැති බවත් සඳහන් කෙරී ඇත.

එසේම මෙම කොළඹ වරාය නගරයේ විශේෂිත ආර්ථික කලාපයේ ඉඩම් කොටස් අලෙවි කිරිමද ඩොලර් වටිනාකම් අනුව සිදුවනු ඇති බවත්, කලාපයේ සේවකයන් සඳහා වැටුප් ගෙවීමත් ඩොලර් ඒකකය අනුව සිදු වෙනු ඇති බවත් සඳහන් වෙයි.

මෙහිදී වරාය නගරයෙහි විශේෂිත ආර්ථික කලාපයේ පදිංචිවී සිටින සේවකයන්ට ඔවුන්ගේ වැටුප් ප්‍රේෂණ ලෙස බැංකු ගිණුම් තුළ තැන්පත් කිරීමේ හැකියාව පවතී. එසේම මෙම වැටුප් ආදායම් බදුවලින් නිදහස් කෙරී ඇත.මීට අමතරව ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පදිංචිකරුවෙකු ආපනශාලාවකින්, සිනෙමාශාලාවකින්, විනෝදාස්වාදන පරිශ්‍රයකින්, සාප්පු සංකීර්ණයකින් හෝ රථගාලකින් යම් සේවයක් ලබා ගැනීමේදී ලබා දෙන රුපියල් වටිනාකම් නම් කෙරුණු විදේශ මුදල් ඒකකයක් වෙත හුවමාරු කිරීමේ අවස්ථාව ව්‍යාපාර වෙත ලබා දෙන රෙගුලාසි නිකුත් කිරීමටද මෙම වරාය නගර ආර්ථික කොමිසම බලාපොරොත්තුව සිටින බවත් පවසයි.

මීට අමතරව මෙම වරාය නගරය අක්වෙරල මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වන බවත් ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස කලාපය තුළ සිදුකරන ගනුදෙනු ඩොලර් මුදල් ඒකක හරහා සිදු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් හෝ යූරෝ වැනි නිදහසේ පාවෙන මුදල් ඒකක එකක් හෝ දෙකක් යොදා ගැනීමේ අවස්ථාවද හිමි වෙයි.  එසේම එක් අවස්ථාවකදී එක්විදේශ මුදල් ඒකකයක් නොව මුදල් ඒකක කිහිපයක්ම භාවිතා කිරීමේ හැකියාවක්ද මෙම කොළඹ මූල්‍ය නගරයේ විශේෂිත ආර්ථික කලාපය වෙත හිමිවීමේ හැකියාවක්ද පවතී.

Views: 792