හේලීස් පීඑල්සී කොටසකට රුපියල බැගින් ලාභාංශ ගෙවනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේලීස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.00 බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය වී තිබේ.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 20 වැනිදා නම් කර ඇත. එසේම ලාභාංශ නොගෙවන දිනය (XD Date) ලෙස අප්‍රේල් 08 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ.

මේ අතර හේලීස් පීඑල්සීහි මෙම ලාභාංශ නිකුතුව සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ හේලීස් පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 59.30ක් ලෙස සටහන් විය. එය පසුගිය සිකුරාදා එම සමාගමේ කොටසක් වාර්තා කළ රුපියල් 58.60ට සාපේක්ෂව ශත 70ක එනම් 1.19%ක ඉහළ යාමකි.

හේලීස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී සිය නිකුත් කර ඇති සෑම කොටසකටම අලුතින් කොටස් 10ක් හිමිවන ලෙස කොටස් අතුරු බෙදීමක් සිදු කළ අතර, මේ වනවිට හේලීස් පීඑල්සී සමාගම තුළ ඇති කොටස් සංඛ්‍යාව මිලියන 75 (75,000,000) සිට මිලියන 750 (750,000,000ක්) දක්වා ඉහළ නැග තිබේ.

ප්‍රාග්ධන භාණ්ඩ යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේලිස් පීඑල්සී සමාගම, හේලීස් සමූහ ව්‍යාපාරයන්හි ආයෝජන සහ සැපයුම් කළමනාකරණය සහ අනෙකුත් සේවා සම්පාදනය සිදු කරන එම සමූයේ හිමිකම සහිත සමාගද වෙයි.     

හේලීස් පීඑල්සී මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාට අයත් සමාගමකි.

Visits: 231