මාර්තු 09 වැනිදාට පසුව ඉහළම පිරිවැටුම වාර්තා කරයි

අද (මාර්තු 29දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වඩාත් සාර්ථක තත්ත්වයකට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයන් පැමිණි සාකච්ඡාමය එකඟතා දිනයේ සමස්ත පිරිවැටුමෙන් 50%කට ආසන්න ප්‍රතිශතයකට දායකත්වයක් සපයා තිබේ.

එසේම සමාගම් මගින් ලබා දෙන ආකර්ෂනීය ලාභාංශ සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනයේ කැපී පෙනෙන දියුණුවද වෙලෙඳ පොළ වෙත ධනාත්මකව බලපෑමක් එල්ල කර ඇත. ඒ අනුව මාර්තු 09 වැනිදා සිට දින 20කට පසුව වාර්තා කළ ඉහළම පිරිවැටුම වාර්තා කිරීමටද කොළඹ කොටස් හුවමාරුවට හැකි විය.

කෙසේ වෙතත් අද දිනයේදී දළ විදේශීය ආයෝජන පිටතට ගලායෑම් මාස දෙකකට පසුව ඉහළම අගයට පත්ව තිබූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසා සිටියි.   

ඒ අනුව අද දිනයේදී ඒකක 7,095.78ත් ඒකක 7,148.99ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,127.69 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (මාර්තු 26) දිනයට සාපේක්ෂව ඒකක 30.30 ක් එනම් +0.43%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද කොටස් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 49.8%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 69ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+6.28), කොමර්ෂල් බැංකුව COMB (+5.54), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+2.79), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.69), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.99), හැටන් නැෂනල් බැංකුව HNB (-2.35, සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී CDB (-1.77), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.66), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.05) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,885.94 ක අගයක් ගත් අතර, එය  සිකුරාදා (මාර්තු 26) දිනයට සාපේක්ෂව ඒකක 19.28 ක එනම් +0.67%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.19ක් ලෙස සටහන්ව තිබූ අතර, එය සිකුරාදා (මාර්තු 26) වාර්තා කළ රුපියල් බිලියන 1.61 ට සාපේක්ෂව 36% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.11ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.17%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 34.17ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 1‍,355.1ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් බිලියන 1.32කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 17.51ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.82 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 561.27ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,368ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 63% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 232ක සහ රුපියල් මිලියන 197ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 287